COVID-19 නිසා පීඩාවට පත් රක්ෂණ ඔප්පු හිමියන්ට සහන

COVID-19 නිසා පීඩාවට පත් රක්ෂණ ඔප්පු හිමියන්ට සහන

නව කොරෝනා වසංගතය හෙවත් COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මියගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

මෙම COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අහිතකර බලපෑම්වලට ලක්ව ඇති ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීමට ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක කැබිනට් මණ්ඩල තීරණයකට අනුව මෙම කටයුතු සිදු කිරීම සැලැසුම වී තිබේ.

ඒ යටතේ රක්ෂණ සමාගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය කොමිෂන් සභාව සියලුම රක්ෂණ ඔප්පු හිමියන් වෙත සහන කිහිපයක් ලබාදීමට එම සමාගම් වෙත උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව අවධාරණය කර සිටියි.

ඒ අනුව සියලුම සාමාන්‍ය රක්ෂණ ඔප්පු හිමියන් සඳහා රක්ෂණ වාරික ගෙවීමට, රක්ෂණ ඔප්පුව ක්‍රියාත්මක වන දිනයේ සිට මාස 3ක සහන කාලයක් ලබා දීමට තීරණය කෙරී ඇත. 2020 මාර්තු 01 දින සිට 2020 ජූනි 30 දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක වූ/ක්‍රියාත්මක වන රක්ෂණ ඔප්පු සඳහා පමණක් මෙම සහන කාලසීමාව වලංගු වන බවත් කොමිෂන් සභාව පවසයි.

එසේම සියලුම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් සඳහා රක්ෂණ වාරික ගෙවීමට, රක්ෂණ ඔප්පුවේ සඳහන් වාරික ගෙවීමට නියමිත වූ දිනයේ සිට මාස 3ක සහන කාලයක් හිමිව තිබේ. එහිදී මෙම සහන කාලසීමාවද 2020 මාර්තු 01 දින සිට 2020 ජූනි 30 දක්වා කාලසීමාව තුළ වාරික ගෙවිය යුතු දිනය ඇතුළත් වන්නේ නම් පමණක් වලංගු වන බව කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර මෙම සහන කාලසීමාව තුළ රක්ෂණ ඔප්පු ප්‍රාණවත්ව පවතින හෙයින්, රක්ෂණ ඔප්පුවේ (ජීවිත සහ සාමාන්‍ය) සඳහන් ප්‍රතිලාභවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 225