බැංකු වෙත යෙදවූ රු. බිලියන 240න් බිලියන140ක් දැනටමත් ජනතාව අතරයි – මහ බැංකු ජ්‍යෙෂ්ඨ නි.අධිපති

බැංකු වෙත යෙදවූ රු. බිලියන 240න් බිලියන 140ක් දැනටමත් ජනතාව අතරයි – මහ බැංකු ජ්‍යෙෂ්ඨ නි.අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය සති තුනේදී පමණක් රටෙහි ආර්ථික ක්‍රියාකාරීත්වය වෙනුවෙන් බැංකු පද්ධතිය වෙත අමතර රුපියල් බිලියන 240ක් පොම්ප කර ඇති බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් සිල්වා මහතා අනාවරණය කරයි.

පසුගිය අප්‍රේල් 08 වැනිදා අද දෙරණ 24 රූපවාහිනි නාලිකාවේ වැඩසටහනක් වෙත සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.  

විශේෂයෙන්ම මේ මාසය ආරම්භයත් සමගින්ම මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ හෙලමින් බැංකු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීම හරහා රටෙහි ආර්ථික කටයුතු වෙත සහාය ලබාදීමක් සිදුකළ බවත්, ඒ යටතේ බැංකු පද්ධතිය වෙත මෙම මුදල් ලබා දීම සිදුව ඇති බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව දැනට ජනතාව සහ බැංකු අතර සංසරණය සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය යොදවා ඇති බවත්, එය රුපියල් බිලියන 810ක් බවත් වීරසිංහ මහතා මෙහිදී අනාවරණය කළේය. සාමාන්‍ය කාලයේදී එය බිලියන 675ක් බවත් සඳහන් වෙයි. ඒ නිසා මෙලෙස අමතර රුපියල් බිලියන 240ක් යෙදවූ බව ඒ මහතා පවසා සිටියි.  

කෙසේ වෙතත් මෙම ලබාදුන් අමතර රුපියල් බිලියන 240ක මුදලින් රුපියල් බිලියන 140ක් දැනටමත් ජනතාව අතට පත්ව ඇති බවත් ඒවා ජනතාව සතු මුදල් ලෙස දැන් පවතින බවත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී පවසා ඇත.

“මහබැංකුව තුළින් අපේ බැංකු පද්ධතියට පොම්ප කරපු මේ අමතර රුපියල් බිලියන 240ක මුදලින් රුපියල් බිලියන 140ක මුදලක් පසුගිය සති දෙක ඇතුළතදී ජනතාව අතට පත්වෙලා ඉවරයි. ජනතාව ඒ මුදල් බැංකුවලින් මුදල් විදියට අරගෙන තියෙන්නේ. ඔවුන් ඒ මුදල් තමන්ගේ අතේ තියාගෙන ඉන්න බලන්නේ.” ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී පැවසයී.

සාමාන්‍යයෙන් මෙවැනි ඇදිරිනීතිය පවතින අවස්ථාවේදී, ජනතාවට බැංකුවකට යන්න අපහසු අවස්ථාවේදී වැඩිපුර මුදල් අතේ තියා ගැනීමට ජනතාව යොමු වන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

“වෙනත් වසරවලදී නම් සිංහල අවුරුදු කාලේදී තමයි සාමාන්‍ය අවස්ථාවලට වඩා වැඩියෙන් රුපියල් බිලියන 100ක් – 120ක් විතර ජනතාව අතට පත් වෙනවා. ඒත් මේ අප්‍රේල් මාසයේ පළමු සිකුරාදා දිනය අවසන් වන විටම රුපියල් බිලියන 140ක මුදලක් ජනතාව අතරට ගිහිල්ලා තිබෙනවා. මහ බැංකුව සිය වගකීමක් ඉටු කිරීමක් ලෙස මේ බිලියන 240ක අමතර මුදලක් බැංකු පද්ධතියට යොමු කිරීම හරහා තමයි මේ අවස්ථාව උදා වුණේ.”

මේ අතර, එම මුදලින්  ඉතිරි රුපියල් බිලියන 100 අමතර මුදලක් ලෙස වාණිජ බැංකු තුළ තැන්පත්ව ඇති බවත්, ඊට හේතු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“මේ බැංකු පද්ධතිය තුළ තවත් රුපියල් බිලියන 100ක් අමතරව තැන්පත් වෙලා තිබෙනවා. ඒ අවශ්‍ය ඕනෑම වේලාවක ලබාදීම සඳහා. ඊට හේතුව තමයි ජනතාව අතර මේ මුදල් තියෙන්නේ ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුමකින් තාවකාලිකව මුදල් එළියට ගැනීමක් හරහායි. එතකොට බැංකුවලට මුදල් නැති වෙනවා. ඒ වගේම බැංකුවල තියෙන ණය ගෙවන්න එපා කියලා ජනතාවට කිව්වහම ඔවුන්ගේ මුදල් සංසරණය අඩු වෙනවා. ඒ සඳහා බැංකු පද්ධතිය වෙත අපි තවත් මුදල් පොම්ප කරනවා.” මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Visits: 118