‘ජෝර්ජ් ස්ටුවර්ට්’ සේවකයන් ආරක්ෂා කරන බවට දිලිත්ගෙන් පොරොන්දුවක්

‘ජෝර්ජ් ස්ටුවර්ට්’ සේවකයන් ආරක්ෂා කරන බවට දිලිත්ගෙන් පොරොන්දුවක්

COVID-19 වසංගතය හමුවේ සිය ව්‍යාපාර වෙත කවර බලපෑමක් එල්ල වුවද ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ වැටුප් කප්පාදුවක් හෝ රැකියා කප්පාදුවක් හෝ සිදු නොකරන බවට එහි සභාපති දිලිත් ජයවීර සියලුම සේවකයන් වෙත පවසා ඇතැයි ‘ඩේලි එෆ්ටී’ පුවත්පත පවසයි.

ඔහු සමාගමේ සේවකයන් වෙත මෙමෝ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. “ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයා ලෙස මමත් ඔබ සියලු දෙනාගේම රැකියා සුරක්ෂිත වන බවට සහ ඔබගේ සම්පූර්ණ වැටුප ඔබට හිමි වන බවට ඔබටත්, ඔබලාගේ පවුල් වෙතත් යළි යළිත් පොරොන්දු වෙනවා.” එහි සඳහන්ව තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජන ජීවිතය සහ ආර්ථිකය පෙර නොවූ විරූ අභියෝග රැසකට මුහුණ දෙමින් පවතින අවස්ථාවකදී තමන් මෙම පොරොන්දුව සේවකයන් වෙත ලබා දෙන බවත් සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

“අනාගතය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් සියලු දෙනාම එකට එක්ව කටයුතු කිරීමෙන් මේ අභියෝග ජය ගන්න පුලුවන් බව අපි විශ්වාස කරනවා. අපගේ සමාගමේ දර්ශනය, සංස්කෘතිය සහ වටිනාකම් සුවිශේෂයි. එතැනදී ලාභයටත් වඩා සියලු දෙනාගේම සතුට ගැන අපි විශ්වාසය තබනවා.”

ලංකාවේ බිහි වූ පැරණිතම සමාගම ලෙස 1835 වසරේදී පිහිටවුණු ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම කවර ආකාරයේ දරුණු සුළි කුණාටු තත්ත්වයක් ඉදිරියේ පැවතියා වුවද එහි සේවකයන් සතු වඩාත් නිර්මාණශීලී චින්තනය, කැපවී වැඩ කිරීමේ හැකියාව සහ සුහුරු වේගවත් බව නිසා ඒ සියල්ල ජය ගැනීමේ හැකියාව ඇතැයිද සභාපතිවරයා මෙම මෙමෝ පණිවුඩයේ දක්වා ඇත.

අද වනවිට තේ වෙළෙඳාම, සංචාරක සහ සංචරණය, සෞඛ්‍ය සේවා, බඳවා ගැනීම්, ගුවන් සේවා, ආයෝජන සහ රක්ෂණ යන ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී ඇති ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම සතු සේවකයන් සංඛ්‍යාව 800කට ආසන්න වෙයි. ඔවුන් සියලු දෙනාම සිය සමාගමේ වත්කම් බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මේ අතර දිලිත් ජයවීර තමන් සතු අනෙකුත් ව්‍යාපාරයන්හි සේවයේ නිරත 2,500කට අධික පිරිසකගේද වැටුප් සහ රැකියා ආරක්ෂා කරදෙන බවට දැනටමත් පොරොන්දු ලබා දී ඇතැයිද ‘ඩේලිඑෆ්ටී’ පුවත්පත පවසයි.

Visits: 230