COVID-19 පැරදවීමට යුනිලීවර් ශ්‍රී ලංකා දුන් මිලියන 35 බෙදුණේ මෙහෙමලු

COVID-19 පැරදවීමට යුනිලීවර් ශ්‍රී ලංකා දුන් මිලියන 35 බෙදුණේ මෙහෙමලු

රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරිම සඳහා සහ එම වසංගත තත්ත්වය අවස්ථාවේදී සෞඛ්‍ය සහ සමාජ සුභසිද්ධිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම රුපියල් මිලියන 35ක මුදලක් ප්‍රදානය කළ බව පවසයි.

ඒ අනුව ඉන් රුපියල් මිලියන 10ක මුදලක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පිහිටවුණු COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ලබා දුන් බව එම සමාගම සඳහන් කරයි. එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත අදාළ ප්‍රදානය ලබා දීම යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලාෆිෆි අතින් සිදුව ඇත. මීට අමතරව යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

මෙම ප්‍රදානයට අමතරව සිය සමාගම විසින් මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 20ක මුදලක් වැය කළ බවත් සමාගම පවසයි. එහිදී ජනතාව අතර සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා කටයුතු යෙදී ඇති අතර, ඒ සඳහා යුනිලීවර් සමාගමේ ප්‍රමුඛ පෙළේ සනීපාරක්ෂක සන්නාමයක් වන ලයිෆ්බෝයි යොදා ගත් බවත් සඳහන් වෙයි.

ඒ අනුව රට පුරාම පිහිටි හඳුනාගත් බස් රථ පර්යන්ත, දුම්රිය ස්ථාන සහ රෝහල් ඇතුළු ස්ථාන 70කදී මෙවැනි ලයිෆ්ෆෝයි සන්නාමය සහිත අත්සේදුම් ස්ථාන ඉදි කිරීමට කටයුතු යෙදී ඇත. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට සිදු කරන මහජන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම් යටතේ මෙය සිදුකළ බව සමාගම පවසයි.

එසේම තවත් රුපියල් මිලියන 5ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් බෙදා හැරීමටද කටයුතු යෙදූ බව යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සඳහන් කර සිටියි. ඒ අනුව සෞඛ්‍ය අංශ සඳහා පුද්ගලික ආරක්ෂක උපාංග කට්ටල 4,000ක්, මුහුණු ආවරණ 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ප්‍රදානය කර තිබේ.

එසේම අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන යුනිලීවර් නිෂ්පාදන 24,000 කට අධික ප්‍රමාණයක් මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා කැපවී සිටින රජයට සම්බන්ධ පිරිස් සහ අනෙකුත් පිරිස වෙත බෙදා හැරීමක්ද සිදුකළ බව සමාගම පවසා සිටියි.

Visits: 50