සංචාරක කර්මාන්තය මළේ නෑ… ඉන්නේ අඩනින්දේ! – ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ

සංචාරක කර්මාන්තය මළේ නෑ… ඉන්නේ අඩනින්දේ! – ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවමත් මරණයට පත්ව නොමැති බවත්, දැනට පවතින්නේ ඉඩ නින්දක තත්ත්වයේ බවත් ජෙට්වින්ග් හොටෙල්ස්හි සභාපති හිරාන් කුරේ මහතා පවසයි.

විජය පුවත්පත් සමාගමේ DailyFT පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිධාරීන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද ‘Economics of COVID-19’ නම් අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් ඊයේ (10දා) පස්වරුවේදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඒ අනුව හැකි ඉක්මණින්ම මෙරට සංචාරක කර්මාන්තය නැගී සිටිනු ඇති බවත් හෙතෙම මෙහිදී සඳහන් කර සිටියේය. “සංචාරක කර්මාන්තය මැරිලා නැහැ. එය අඩ නින්දෙයි පසුවෙන්නේ… අපි යළිත් නැගී සිටිනවා.” ඔහු මෙම සාකච්ඡාව අතරතුරදී පවසා ඇත.

“මෙම වසංගත තත්ත්වයත් සමග ගුවන් ගමන් නැවැත්වීමත්, ඇඳිරි නීතිය පැනවීමත් යන කාරණා නිසා සංචාරක කර්මාන්තයට කිසිදු උදව්වක් නොමැති තත්ත්වයක් තමයි උදා වෙලා තිබෙන්නේ. අද මේ ව්‍යාපාරය අපි පවත්වාගෙන යන්නේ කිසිදු ආදායමක් නොමැතිවයි. රජය දැනටමත් කර්මාන්තය බලපාන බාධක මගහරිමින් එය රැක ගැනීම වෙනුවෙන් ප්‍රාග්ධනය සඳහා වගේම පොළී ගෙවීම් සඳහා යම් සහන ලබා දීලා තිබෙනවා. එහෙත් ඒවා ඉදිරි මාස කිහිපය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ.” හිරාන් කුරේ මහතා පවසා ඇත.

ඒ අනුව මෙම සංචාරක කර්මාන්තය ආරක්ෂා කිරීමේ මූලික කාර්ය භාරයක් රජය වෙත ඇති බව පෙන්වා දී ඇති කුරේ මහතා, ඒ හරහා තමන්ට යළිත් කර්මාන්තය ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කර තිබේ. එසේම එම සහායත් සමගින් තමන් සතු ඉහළ පුහුණුවක් ලැබූ ශ්‍රමබලකාය ආරක්ෂා කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු අවධාරණය කර සිටියි.

හිරාන් කුරේ මහතා මෙහිදී පවසන ආකාරයට මේ වසරේ ශීත ඍතුව සඳහා වන කිසිදු හෝටල් වෙන් කරගැනීමක් මෙතෙක් සිදුව නොමැති තත්ත්වයක් උදා වී තිබේ. වෙනත් වසරවලදී නම් ඉදිරි මාස නවයත් 12ත් අතර කාලයක් සඳහා වන හෝටල් කාමර වෙන්කරගැනීම් මෙම මාස කිහිපයේදී සිදුවන බවත් ඔහු පවසා සිටියි. ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව මෙරට සංචාරක කර්මාන්තය වෙත වඩාත් හොඳ ශීත ඍතුවක් ලබා ගැනීම යම් ආශ්චර්යක් හේතුවෙන් පමණක් සිදුවිය හැක්කක් බවත් ඔහු පෙන්වා දෙයි.

“මොනවා වුණත් අපේ කාර්ය මණ්ඩලය හොඳින් පවත්වාගෙන යන්න තරම් ප්‍රමාණවත් ආදායම් මාර්ගයක් අපි හොයා ගත යුතු වෙනවා. එතැනදී ආයුර්වේදය යම් අනාගතයක් පවතින අංශයක්. බොහෝමයක් හෝටල් සතුව මේ ආයුර්වේද වෛද්‍යවරුන් සහ සුවතා සේවකයන් සිටිනවා. මේ අංශය තමයි අපිට ඉක්මණින්ම ක්‍රියාත්මක වෙලා මේ අපි එහි මුල් තැනේ ඉන්න බව ශීත ඍතුවේදී ලෝකයට පෙන්වන්න අවස්ථාව තියෙන්නේ.” හිරාන් කුරේ මහතා වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේදී පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 228,434 කි. එය පසුගිය වසරේ ජනවාරි මාසයේදී පැමිණි සංචාරකයන් 244,239ට සාපේක්ෂව 6.5%ක අඩුවීමකි. එසේම 2020 පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් 207,507ක් ලෙස වාර්තා වන අතර එය 2019 පෙබරවාරි පැමිණි සංචාරකයන් 252,033 ට සාපේක්ෂව 17.7%ක අඩුවීමකි. මාර්තු මාසයේ පැමිණීම් මෙතෙක් වාර්තා වී නැත.

Visits: 109