COVID-19 පාඩුව පියවීමට බ්‍රැන්ඩික්ස් විධායක පඩි 60% කින් කැපේ

COVID-19 පාඩුව පියවීමට බ්‍රැන්ඩික්ස් විධායක පඩි 60% කින් කැපේ

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද උද්ගතව පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මතුව ඇති ආර්ථික අර්බුදය නිසා සිය ව්‍යාපාරය වෙත සිදුව ඇති පාඩුව පියවීම සඳහා, මෙරට විශාලතම නිමි ඇඳුම් අපනයනකරුවා ලෙස සැලකෙන බ්‍රැන්ඩික්ස් සමාගම සිය වියදම් කප්පාදුවකට යොමුව ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව ගත් තීන්දුවකට අනුව මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි මාස හයක කාලයක් සඳහා බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලුම විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප් 5% සිට 60% දක්වා ප්‍රමාණයකින් කපා දැමීමට මෙහිදී තීරණය වී තිබේ. එහිදී වැටුප් මට්ටම් අනුව මෙම කප්පාදුව සිදු කිරීම සැලසුම වී ඇත.

මේ පිළිබඳව වන නිවේදනයක් (මෙමෝ පණිවුඩයක්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් විසින් සමාගමේ සේවකයන් වෙත යවා ඇත. එහිදී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හැකි පමණින් මුදල් ඉතුරු කරගනිමින් සමාගම ආරක්ෂා කරගැනීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසා ඇත.

ඒ අනුව සියලුම ආකාරයේ ප්‍රාග්ධන වියදම් අත්හිටුවා තිබේ. අලුතින් කොන්ත්‍රාත්තු ලබාදීම් සහ උපදේශන සේවා ලබා ගැනීම් මෙන්ම තාවකාලික කාර්ය මණ්ඩල බඳවා ගැනීම්ද නවත්වා තිබේ. සමාගමේ දත්ත අනුව මේ වනවිට ලොව රටවල් කිහිපයකම පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා තුළ සේවයේ නිරත පිරිස 60,000කට ආසන්න වෙයි.

එසේම ඉදිරියේදී සමාගමේ මුදල් ඉතිරි කරගැනීම සඳහා වන තවත් අත්‍යවශ්‍ය තීරණ රැසක්ම ගැනීමට නියමිතව ඇති බවත්, ඒ පිළිබඳව සේවකයන් දැනුවත් කිරීමට කටයුතු යොදන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර ඇත.

විශේෂයෙන්ම බ්‍රැන්ඩික්ස් සමාගමේ මුල් පෙළේ ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙකුම ලබා දීමට නියමිතව තිබූ ඇනවුම් රැසක් අවලංගු කර ඇති බවත්, දැනට නිමකර අවසන්ව ඇති නිෂ්පාදන නැව්ගත නොකර සිටින ලෙසට පවසා ඇති පසුබිමත් සමගම සිය ආයතනය බලාපොරොත්තු නොවූ ආකාරයට පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයකට පත්වෙමින් තිබෙන බවත් ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් අද පවතින මෙම කනස්සල්ල පරාජයට පත් කරමින් හැකි ඉක්මණින්ම යළිත් වරක් සිය ව්‍යාපාරය ගොඩනගාගැනීමට හැකියාව පවතින බවට විශ්වාස කරන බවද අෂ්රොෆ් ඕමාර් මහතා පවසා ඇත. ඒ සඳහා ඉවසීම, කැපකිරීම, අධිෂ්ඨානය සහ සියල්ලටම වඩා එකිනෙකා කෙරෙහි සහ බ්‍රැන්ඩික්ස් කණ්ඩායම මත පවතින විශ්වාසය වැදගත් බවත් ඔහු සිය සේවකයන් වෙත අවධාරණය කර තිබේ.

Visits: 805