COVID-19 නිසා ජෝන් කීල්ස් සේවකයන්ගේ වැටුප් 35% කින් කපා දමයි

COVID-19 නිසා ජෝන් කීල්ස් සේවකයන්ගේ වැටුප් 35% කින් කපා දමයි

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය සමූහය යටතේ සේවය කරන සියලුම සේවකයන්ගේ වැටුප් මාස තුනක කාලයක් සඳහා කපා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

COVID-19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර වෙත බලපා ඇති අයහපත් තත්ත්වය පිළිබඳව සලකා බලා එම සමූහය මෙම තීරණය ගෙන ඇත. ඒ පිළිබඳව සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසින් සිය සේවකයන් සියලු දෙනා වෙතම දැනුම් දී තිබේ.

ඒ අනුව මාසික වැටුප රුපියල් 50,000ට වඩා අඩු සියලුම සේවකයන්ගේ සිට රුපියල් 50,000ට වැඩි මූලික වැටුපක් සහිත සේවකයන් වෙත පිළිවෙලින් 5%ත් 35%ත් ලෙස වැටුප් කපා දැමීමට තීරණය වී තිබේ. අප්‍රේල් මාසයේ වැටුපත් සමගම ඉදිරි මාස තුනක වැටුප් මෙලෙස කපා හැරෙන බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ වැටුප් 60% කින් කපා දැමීමට තීරණය වී ඇත. ඒ අනුව සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති ගිහාන් කුරේ සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් ඉදිරි මාස තුනේදී 60% කින් කපා දැමීමට තීරණය වී ඇත. මීට අමතරව සමූහයේ විධායක කමිටු සාමාජිකයන්ගේ වැටුප් 35%කින් කපා දමා තිබේ.

එසේම මෙම කාලසීමාව තුළදී නව බඳවා ගැනීම් අත්හිටුවීමටත් ප්‍රාග්ධන වියදම් කිසිවක් සිදු නොකිරීමටත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරගෙන තිබේ.

ප්‍රවාහන, පාරිභෝගික භාණ්ඩ සහ ආහාර, සිල්ලර, නිවාඩු, දේපළ, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණික සහ වැවිලි සේවා යන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි ව්‍යාපාර ව්‍යාප්තව තිබේ. 2019 මාර්තු 31 වැනිදා වනවිට එම සමාගම සතු ශ්‍රම බලකාය 20,713 කි. ඉන් සේවකයන් 13,923ක් සිටින අතර සේවා සඳහා බාහිරින් සම්බන්ධ කරගත් පිරිස 6,790 කි.

Visits: 345