ලංකාවේ වාහන වෙළෙඳ පොළට අනාගතයක් නැහැ?

ලංකාවේ වාහන වෙළෙඳ පොළට අනාගතයක් නැහැ?

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීයව මෙන්ම දේශීයවත් හට ගෙන ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙරට වාහන වෙළෙඳ පොළෙහි අනාගතය පිළිබඳ තවමත් පැහැදිලිතාවක් නොමැති බව මෙරටට වාහන ආනයන කර අලෙවි කිරීමේ ව්‍යාපාරයේ නිරත පිරිස් පවසති.

විශේෂයෙන්ම රටෙහි විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රජය දැනටමත් මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත්, ආර්ථික අර්බුදය නිසා ජනතාව තුළ වාහනයක් මිලදී ගැනීමට ඇති ක්‍රය ශක්තිය හීනවීයාමත් යන කාරණා මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව ඔවුහු පවසති.

එහිදී අලුතින් වාහනයක් මිලදී ගැනීමේ මෙන්ම පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේ තත්ත්වයද එලෙසින්ම වන බව ඔවුහු සඳහන් කරති.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වාහන ආනයනය කර අලෙවි කරන මෙරට ප්‍රධාන සමාගමක හිමිකරුවෙකු, “කොහොමත් ඉදිරියේදී මෝටර් රථ වෙළෙඳාම අඩු වෙන බව පැහැදිලියි. මොකද වාහන කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. බයිසිකලයක් තියෙන කෙනා තමයි පොඩි වාහනයක් ගන්නේ. පොඩි වාහනයක් තියෙන කෙනා තමයි ලොකු වාහනේකට යන්නේ. ඒත් ඉදිරියේදී ජනතාව වාහනයක් මිලදී ගන්නවාට වඩා එදිනෙදා කෑමබීමවලට වියදම් කරමින් ජීවිත රැක ගැනීමට තමයි බලන්නේ. බොහෝ පිරිසකගේ වැටුප් කප්පාදු වෙනවා. තවත් පිරිසකට රැකියා අහිමි වෙනවා.” යනුවෙන් පැවසීය.

විශේෂයෙන්ම පාරිභෝගිකයන් දැනටමත් කල්බදු (ලීසිං) ක්‍රමයට ලබා ගෙන ඇති මෝටර් රථවල වාරික ගෙවීම පවා ගැටලුවක් වී ඇති බවත්, ඔවුන් මේ වනවිට රජයෙන්, මහ බැංකුවෙන් සහ ලීසිං සමාගම් වෙතින් ඒවාට සහන බලාපොරොත්තුව සිටින බවත් ඔහු පවසා සිටියේය. එසේම ඉදිරියේදී ජනතාවගෙන් වැඩි දෙනෙක් කිසිදු විටෙකත් තමන්ගේ ජිවිත වෙත ලීසිං බරක් එකතු කර නොගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ තවත් මෝටර් රථ ආනයනකරුවෙකු “රටේ නායකයන්ටත් තවමත් මේ ගැටලුවේ හරි මාවත තෝරාගන්න බැරිවයි ඉන්නේ. ඩොලරය වැඩි වෙලා. දැන් ණයවර ලිපි විවෘත කිරීම අත්හිටුවා තිබුණට, මීට කලින් ණයවර ලිපි විවෘත කරපු වාහන ගෙන්වීමට තියෙනවා. ඒත් ඩොලරය දවසින් දවස ඉහළ යන නිසා ඒවටත් කලින්ට වැඩිය ලොකු වියදමක් දරන්න වෙනවා. එවැනි වියදමක් දරලා ගෙනාවා කියලා ඒ මුදලට ඒ වාහන ගන්න කවුරුත් කැමති වෙන්නෙ නැහැ. එතැනදී ආනයනකරුවාට එම වාහන විකුණන්න වෙන්නෙ යම් පාඩුවක් විඳිමිනුයි.” යනුවෙන් පැවසීය.

මේ අතර ජනතාව අතර වාහනයක් මිලදී ගැනීමට තරම් ක්‍රය ශක්තියක් නොමැතිවීමත් සමග, වාහන අලෙවිකරුවන්ද තමන් සතු වාහන පවතින මිලට වඩා බොහෝ අඩු මුදලකට අලෙවි කිරීමේ අවස්ථාවක් දක්වා පත්විය හැකි බවත් ඇතැම් වාහන අලෙවිකරුවන් පවසා සිටියි.

“අපි වුණත් මේ වාහන ගෙනැල්ලා, ප්‍රදර්ශනය කරලා අලෙවි කරන්නේ බැංකු ණය අරගෙන. ඒවා ගෙවාගන්න තරම් බිස්නස් එකක් සිදු නොවෙන කොට කීයකට හරි ඒ වාහන අලෙවි කරන්න අපිට සිදු වෙනවා. ව්‍යාපාරයේ රැඳී ඉන්න පුළුවන් කෙනා කොහොම හරි එහි ඉඳියි. ඒත් බැරි කෙනා මේ තීරණයට යාවි. මේ ගෙවෙන මාසයේදීත් වාහන අලෙවිකරුවන් ලොකු පීඩනයකින් ඉන්නේ.”

Visits: 211