සෞදි – රුසියා සාකච්ඡා කල්යෑමෙන් බොරතෙල් මිල යළි පහළට

සෞදි – රුසියා සාකච්ඡා කල්යෑමෙන් බොරතෙල් මිල යළි පහළට

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල පිළිබඳව සෞදි අරාබිය සහ රුසියාව අතර අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන 09 වැනිදා දක්වා කල්යෑමත් සමගම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පසුගිය සති අන්තයට සාපේක්ෂව යළිත් වරක් පහළ බැස තිබේ.

දෙපාර්ශ්වය අතර මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට ප්‍රකාශ කෙරුණු පසුගිය සිකුරාදා දිනයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊට පෙර දිනට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළයාමක් පෙන්නුම් කෙරිණි.

ඒ අනුව අප්‍රේල් 01 වැනිදා ඩොලර් 24.74ක් ලෙස පැවැති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අප්‍රේල් 03 වැනිදා වනවිට ඩොලර් 34.11ක් ලෙස ඉහළ නැගීම සිදු විය. එහෙත් අද දිනයේදී එය යළිත් ඩොලර් 32.75 ක් ලෙස පහත බැස තිබේ.

එසේම අප්‍රේල් 01 වැනිදා ඩොලර් 20.31ක් ලෙස පැවැති එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක මිල සිකුරාදා දිනය වනවිට ඩොලර් 28.34ක් දක්වා ඉහළ නැගීම සිදුවිය. එහෙත් අද දිනයේදී එය යළිත් 26.71 ක් තත්ත්වයට පත්ව තිබේ.

සෞදි අරාබියේ මූලිකත්වයෙන් යුත් ඔපෙක් සාමාජික රටවල් සහ රුසියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡාව එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම අනුව සිදුවූවක් බව පැවසෙයි. පසුගිය සතිය මැදදී රුසියානු බලශක්ති අමාත්‍යවරයා විසින් පළමුවරට මෙවැනි සාකච්ඡාව පැවැත්වීමක් පිළිබඳව කරුණු අනාවරණය කර තිබුණි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල දරුණු ලෙස කඩා වැටීම සඳහා ආසන්නතම හේතුව එම දෙපාර්ශ්වය අතර පවතින ගැටලුකාරී තත්ත්වය බවට පත්ව වී තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ද පසුගියදා මාධ්‍ය අමතමින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කඩා වැටීමට හේතු වූ ප්‍රධාන කරුණ කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තිය නිසා සිදුවූ ඉල්ලුමේ අඩුවීමත්, දෙවැනි කරුණ සෞදි – රුසියා මතගැටුම බවත් පවසා ඇත.

මේ හේතු නිසා පසුගිය මාසය අවසන් වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල එක්සත් ජනපද ඩොලර් 20ක අගයකටත්  පත්විය.

Visits: 45