ඉතිහාසයේ පළමුවරට ‘කොළඹ තේ වෙන්දේසිය’ අන්තර්ජාලය හරහා

ඉතිහාසයේ පළමුවරට ‘කොළඹ තේ වෙන්දේසිය’ අන්තර්ජාලය හරහා

වසර 137කට පෙරාතුව ආරම්භ වී ඇති ලොව පැරණිතම තේ වෙන්දේසියක් ලෙස සැලකෙන ‘කොළඹ තේ වෙන්දේසිය’ සති දෙකක නිහැඩියාවකින් පසුව අද පෙරවරුවේදී යළිත් ආරම්භවීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. රට තුළ ව්‍යාප්තව පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු ක්‍රියාමාර්ග හේතුවෙන් ආසන්න සති දෙකක කාලයේදී මෙම කොළඹ තේ වෙන්දේසිය පැවැත්වීමට අවස්ථාව උදා නොවුණි.

ඒ අනුව තවදුරටත් රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සලකා බලා, සමාජ දුරස්තභාවය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම කොළඹ තේ වෙන්දේසිය ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ඉලෙක්ට්‍රොනික වෙන්දේසියක් ලෙස පැවැත්වීමට එහි වෙන්දේසිකරුවන් සහ ගැනුම්කරුවන් පියවර ගෙන තිබේ. එය අද පෙරවරු 11.00ට ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සංවිධානය වී තිබේ. එසේම ලංකා තේ වෙළෙඳුන්ගේ සංගමය (Ceylon Tea Traders Association) සහ කොළඹ තැරුව්කරුවන්ගේ සංගමයද (Colombo Brokers Association) මේ සඳහා මූලිකත්වය ගෙන ඇත.

මෙම වෙන්දේසිය සඳහා තාක්ෂණික සහයෝගය දක්වන CICRA Solutions සමාගම පවසන ආකාරයට මෙම අවස්ථාවේදී තේ කිලෝග්‍රෑම් 800,000 කට ආසන්න ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා තැරුව්කරුවන් 8 දෙනෙකු හරහා ගැනුම්කරුවන් 300 දෙනෙකු අන්තර්ජාල වෙන්දේසි ක්‍රමය වෙත ලියාපදිංචි වී තිබේ.

COVID-19 වෛරසය හේතුවෙන් සති දෙකක් පුරා ඇණහිට තිබූ මෙම තේ වෙන්දේසි කටයුතු මේ ආකාරයෙන් හෝ පවත්වාගෙන යමින් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලුමට සරිලන සැපයුම මෙන්ම මුදල් ගලායාම ස්ථාවරව පවත්වාගෙන යාම සුරක්ෂිත කිරීම අරමුණ බව මෙම අවස්ථාවේ සංවිධායකයන් පවසා සිටියි.

මීට පෙරද මෙවැනි ආකාරයට අන්තර්ජාල වේදිකාවක් හරහා කොළඹ තේ වෙන්දේසිය සිදු කිරීම පිළිබඳව බොහෝ අවස්ථාවලදී සාකච්ඡා කර ඇති නමුත්, ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් වෙතින් ඒ සඳහා සාර්ථක  මුලපිරීමක් සිදු නොවීම හේතුවෙන් එම කටයුතු පිළිබඳඑකඟතාවකට පැමිණීම අපොහොසත් වී තිබුණි.

අද දිනයේදී අන්තර්ජාලය හරහා පැවැත්වෙන මෙම කොළඹ තේ වෙන්දේසිය උපරිම පැය හතරක පමණ කාලයකින් නිමාවට පත් කළ හැකි වෙනු ඇතැයි එහි සංවිධායකයෝ පවසා සිටිති. එසේම මෙම අන්තර්ජාල තේ වෙන්දේසිය තේ අලෙවිකරුවන් සහ බ්‍රෝකර්කරුවන් තවදුරටත් මෙවැන්නක් සඳහා උනන්දුකරවන අවස්ථාවක් බවට පත් වෙනු ඇති බවත් විශ්වාස කෙරේ.

හිටපු අමාත්‍යවරයෙකු වන හර්ෂද සිල්වාද ඊයේ දිනයේදී මෙම ඓතිහාසික කොළඹ තේ වෙන්දේසිය පිළිබඳව සිය පෙර අත්දැකීම් ඇතුළත් කරමින් ලිපියක්ද පළ කළේය.

Visits: 211