කොරෝනා වෛරසය Corona බියර් නිෂ්පාදනයත් නවත්වලා

කොරෝනා වෛරසය Corona බියර් නිෂ්පාදනයත් නවත්වලා

මෙක්සිකෝවේ පිහිටි Grupo Modelo සමාගම සිය ජනප්‍රිය බියර් සන්නාමයක් වන Corona බියර් නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එරට තුළ දැනට ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව  පැවසෙයි.

මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ලබන අප්‍රේල් 30 දක්වා එරට තුළ අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් සියල්ල අතිහිටුවීමට මෙක්සිකානු රජය ගෙන ඇති පියවර යටතේ මෙම නිෂ්පාදන අත්හිටුවීමට සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව දැනටමත් මෙම Corona බියර් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුකරගෙන යන බවත් ඉදිරි දින කිහිපයේදී එම නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු යොදන බවත් සමාගම සඳහන් කරයි.

මෙක්සිකානු රජයේ මෙම තීරණයට අනුව එරට තුළ කෘෂිව්‍යාපාර ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පමණක් ලබන අප්‍රේල් 30 දක්වා පවත්වාගෙන යාමට අවසරය ලබා දී තිබේ.

කෙසේ වෙතත් මෙක්සිකානු රජය එකඟවන්නේ නම් පමණක් සිය සේවකයන්ගෙන් 75%ක් දෙනා යොදා ගනිමින් මෙම කාලසීමාව තුළදීද රටට අවශ්‍ය බියර් සැපයුම ලබාදීමට තමන්ට හැකි බවත් සමාගම සඳහන් කර ඇත.

මේ වනවිට ලොව පුරා රටවල් 180කට ආසන්න සංඛ්‍යාවට සිය Corona බියර් සන්නාමය ඇතුළු අනෙකුත් නිෂ්පාදන අලෙවි කරන බව මෙක්සිකෝවේ Grupo Modelo සමාගම පවසයි.

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භවීමත් සමගම මෙම Corona බියර් සන්නාමය යොදා ගනිමින් සමාජ මාධ්‍ය තුළ විවිධ උපහාසාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීමද සිදු විය. එය හේතුවක් කරගනිමින් ආසන්න මාස කිහිපයේදී ලොව පුරා Corona බියර් නිෂ්පාදනවල අලෙවියද පහත වැටීම සිදු විය.

Visits: 56