ලැයිස්තුගත සමාගම්හි වාර්ෂික මහා සභා රැස්වීම් ගැන CSE වෙතින් උපදෙස්

ලැයිස්තුගත සමාගම්හි වාර්ෂික මහා සභා රැස්වීම් ගැන CSE වෙතින් උපදෙස්

රට තුළ ව්‍යාප්ත වී ඇති COVID-19 වසංගතය හේතුවෙන් ගැටලුවක් බවට පත්ව ඇති වාර්ෂික මහා සභා රැස්වීම් සංවිධානය කිරීම පිළිබඳ කරුණ පිළිබඳව සිය ලැයිස්තුගත සමාගම් වෙත උපදෙස් කිහිපයක් නිකුත් කිරීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු යොදා තිබේ.

මෙම වසංගත තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අවස්ථාවක් ලෙස කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් බොහෝමයක්ම පැවැත්වීමට නියමිතව තිබූ සිය වාර්ෂික මහා සභා රැස්වීම් මේ වනවිට කල් දැමීමට තීරණය කර ඇත. මේ සඳහා සහභාගිවන කොටස්කරුවන්ගේ සහ ඊට දායක වන සිය කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම වෙනුවෙන් මෙම තීරණය ගත් බව ඇතැම් සමාගම් නිවේදන පවා නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම මෙම වෛරසය ව්‍යාප්තවීම වැළෑක්වීම සඳහා මූලිකම කාරණය වන සමාජ දුරස්තභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එකී සමාගම් ගෙන එම එම තීරණය සම්බන්ධයෙන්ද සතුට පළ කර ඇති කොළඹ කොටස් වෙළඳ පොළ, එම තීරණය හරහා මතුවන ඉදිරි කටයුතු සම්බන්ධයෙන් යම් කිසි සහායක් දැක්වීමක් ලෙස මෙම උපදෙස් නිකුත් කර තිබේ.

2007 අංක 7 දරන සමාගම් පනතට අනුව කොටස් වෙළෙඳ පොළ තුළ මෙම ලැයිස්තුගත සමාගම් සිය වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීම සිදු කළ යුතුව ඇත. එහෙත්  මෙම ලැයිස්තුගත නීතිය යටතේ එම හමුව පැවැත්වීමේ නිශ්චිත දිනයක් පිළිබඳව සටහන් නොවෙයි.

ඒ අනුව COVID-19 වසංගතය හේතුවක් කරගනිමින් සිය වාර්ෂික මහා සභා රැස්වීම් කල් දැමීම හෝ පැවැත්වීම පිළිබඳව ගන්නා තීරණයේදී අදාළ  ලැයිස්තුගත සමාගම් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් කොටස් වෙළෙඳපොළ දක්වා සිටියි.

වාර්ෂික මහා සභා රැස්වීම කල්දැමීම

දැනට රටෙහි පවතින තත්ත්වය යළිත් යථා තත්ත්වයට පත්වන තෙක් සිය වාර්ෂික මහා සභා රැස්වීම කල්දැමීම පිළිබඳව ලැයිස්තුගත සමාගම් වෙත තීරණය කළ හැකිය. එහිදී දැනටමත් මෙම තීරණය ගෙන ඇති සමාගම් ඒ පිළිබඳව කොළඹ කොටස් වෙලෙඳ පොළ වෙත දැන්වීම සිදු කළ යුතුය. ඊට අමතරව මේ පිළිබඳව පුවත්පත් හරහා දැන්වීම් පළ කර කොටස්හිමිකරුවන් දැනුවත් කළ යුතුය.

එසේම අවසන් ලාභාංශ ගෙවීමක් පිළිබඳව දැනටමත් ප්‍රසිද්ධියට පත් කර ඇති ලැයිස්තුගත සමාගම් සහ ඒ සඳහා කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව තිබෙන අවස්ථාවේදී එයද කල්දැමීමේ හැකියාව ඇත. එහිදී අවසන් ලාභාංශ ගෙවීමකින් තොරව අතරමැදි ලාභාංශ ගෙවීමක් පිළිබඳවද සමාගම් වෙත තීරණය කළ හැකිය. ඒ සම්බන්ධයෙන් වෙළෙඳ පොළ වෙත පූර්ව දැනුම්දීමක් සිදු කළ යුතුය.

දැනට පවතින තැපැල්පත් බෙදාහැරීමේ බාධාව නිසා සමාගම් මෙම වාර්ෂික මහා සභා රැස්වීම පිළිබඳව තොරතුරු සිය කොටස්හිමිකරුවන් වෙත දැන්වීම සඳහා ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද භාවිතයට ගත යුතුව ඇත. එහිදී නීති උපදෙස් අනුව ක්‍රියා කළ යුතුව ඇත.

මීට අමතරව යම් වාර්ෂික මහා සභා රැස්වීමක් කල්දැමීමක් සිදුවන්නේ නම් එය සමාගම් පනතේ 133 වගන්තිය ප්‍රකාරව සිදුවිය යුතු බවත්, එසේ සිදු කළ නොහැකි අවස්ථාවලදී ඉදිරි උපදෙස් සඳහා සමාජ රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් විමසීම සිදුකළ යුතුය.

අතථ්‍ය වාර්ෂික මහා සභා රැස්වීම්

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් වෙත සිය වාර්ෂික මහා සභා රැස්වීම් යම් කිසි විද්‍යුත් තාක්ෂණික ක්‍රමවේදයකින් සහ ටෙලිකොන්ෆරන්ස් යාන්ත්‍රණයක් යටතේ සිදු කිරීමටද අවස්ථාව ඇත. එහිදී ෆේස්බුක් ලයිව්, WebEX, Zoom හෝ Webinar යන තාක්ෂණ යොදා ගැනීමේ හැකියාව පවතී.

දෙමුහුන් වාර්ෂික මහා සභා රැස්වීම්

මෙහිදී අදාළ උපරිම අවම පුද්ගල සහභාගිත්වයකින් යුක්තව පැවැත්මීට යෝජනා කර ඇති අතර, එහිදී භෞතික පරිසරයක් තුළදී සහ අතථ්‍ය පරිසරයක් තුළදී එකම අවස්ථාවේදී  මෙම සමුළුව සංවිධානය කිරීමක් ලෙස එය හඳුන්වාදී ඇත.

ඡන්දය ලබාදීම

මෙම ලැයිස්තුගත සමාගම් වෙත සිය වාර්ෂික මහා සභා රැස්වීමේදී ගනු ලබන තීරණ වෙත ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී යම් ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ඔවුන් වෙනුවෙන් එම අවස්ථාව නියෝජනය කිරීමේ බලය එහි කොටස්කරුවන්ට ලබා දීම.

කොටස්හිමිකරුවන්ගේ ප්‍රශ්න මහා සභා රැස්වීමට පෙර ලබා ගැනීම

මෙම වාර්ෂික මහා සභා රැස්වීමේදී කොටස්කරුවන් විසින් ඇසීමට නියමිතව ඇති ප්‍රශ්න එය පැවැත්වෙන දිනයට පෙරාතුව ලබා ගැනීමටද යෝජනා වී ඇත.

වාර්ෂික මහා සභාරැස්වීම පැවැත්වීම සඳහා විකල්ප ස්ථාන යොදා ගැනීම

සමූහයක් එක් තැනකට එක් රොක්වීම වැළැක්වීම සඳහා කිහිප දෙනෙකු එක් තැනකට එක් වී එම ස්ථානය වීඩියෝ සබඳතා මගින් එකිනෙකා සම්බන්ධ කිරීමෙන්ද ලැයිස්තුගත සමාගමකට සිය වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විය හැකිය.

එහිදී මෙම පියවර සම්බන්ධයෙන් සිය කොටස්හිමියන් ඊට පෙර නිවැරදි ලෙසම දැනුවත් කිරීම වැදගත් වෙයි. විශේෂයෙන්ම එක් තැනකට රොක්විය හැකි උපරිම සංඛ්‍යාව පිළිබඳවද දැනුවත් කළ යුතුය. එසේම ඔවුන් සියලු දෙනා පෙර ලියාපදිංචිවීමත් සිදු විය යුතුය.

මීට අමතරව එවැනි අවස්ථාවකට සහභාගිවන පිරිසගේ ශරීර උෂ්ණත්වය සහ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීම සඳහා සමාගම් පියවර ගත යුතු අතර, එම පරීක්ෂාවන් පිළිබඳව කොටස්හිමියන් සතුටුදායක තත්ත්වයට පත්වීමත් අනිවාර්යය වෙයි.

Visits: 171