COVID-19 ආරක්ෂිත උපාංග හිඟවීමෙන් යළි භාවිතයට ගැනීමට පර්යේෂණ

COVID-19 ආරක්ෂිත උපාංග හිඟවීමෙන් යළි භාවිතයට ගැනීමට පර්යේෂණ

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පළදිනු ලබන මුඛ ආවරණ ඇතුළු ආරක්ෂක උපාංගවල හිඟතාවත් සමගම, එක්වරක් භාවිත කළ එම උපාංග යළිත් පිරිසිදු කර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් එරට තුළ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එරට ඔහියෝ සහ නෙබ්රස්කා ප්‍රාන්තවල සිටින පර්යේෂකයන් දැනටමත් මේ පිළිබඳව පර්යේෂණයේ නියැලෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. එහිදී වෛද්‍යවරුන් සහ හෙදියන් සිය ආරක්ෂාව වෙනුවෙන් පළදින මෙම උපාංග විෂබීජහරණ ක්‍රියාවලියකට ලක් කරන නැවතත් ඔවුන් අතට පත් කරවීම සැලසුම වී තිබේ.

මෙහිදී ඒවා පිරිසිදු කිරීමේ පළමු වටය ලෙස මෙම ආරක්ෂිත උපාංග වෙත හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉසීම සිදු කරයි. එමගින් ඒවායේ රැඳී ඇති COVID-19 වෛරසය විනාශ කළ හැකි බව අදහස වී තිබේ. ඉන් අනතුරුව මෙම උපාංග පාරජම්බුල කිරණ වෙත යොමු කිරීමක් සිදු කරන අතර ඉන්ද එහි ඇති වෛරස සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව පැවසෙයි.

ඒ අනුව දැන් ගැටලුව වී ඇත්තේ පර්යේෂකයන් ඉදිරිපත් කරන මෙම ක්‍රමය සාර්ථක වේද, ඒ හරහා ඔවුන්ට කොපමණ ආරක්ෂිත උපාංග ප්‍රමාණයක් පිරිසිදු කිරීමට හැකි වේද යන්න බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලොව පුරා ව්‍යාප්තව ඇති මෙම COVID-19 වෛරසය හේතුවෙන් මෙම මුඛ ආවරණ ඇතුළු ආරක්ෂක උපාංග නිෂ්පාදන කර්මාන්තය පසුබැසීමකට ලක්ව තිබීම ඒවායේ හිඟතාවක් ඇති වීමට හේතුව වී තිබේ. උදාහරණ ලෙස ලෝකයේ විශාලතම රබර් අත්ආවරණ නිෂ්පාදකයා වන මැලේසියාව තුළ වෛරසය නිසා මේ වනවිට උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් එම නිෂ්පාදන කටයුතු අඩාල වී තිබේ.

කෙසේ වෙතත් මෙවැනි ආරක්ෂිත උපාංගයක් එක් COVID-19 ආසාදිත රෝගියෙකු පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා පමණක් භාවිතා කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම ලොව පුරා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ.

Visits: 23