කටුනායක වෙත මගී යානා පැමිණීමේ තහනම අප්‍රේල් 07 දක්වා දිගු කෙරේ

කටුනායක වෙත මගී යානා පැමිණීමේ තහනම අප්‍රේල් 07 දක්වා දිගු කෙරේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා සඳහා පනවා තිබූ තහනම ලබන අප්‍රේල් 7 වැනිදා දක්වා දිගු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. පෙර පැවැති නියෝගයට අනුව මෙම තහනම ලබන මාර්තු 31 වැනිදා අවසන්වීමට නියමිතව තිබුණි.

දැනට රට තුළ පවතින COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා ගන්නා තවත් එක් ක්‍රියාමාර්ගයක් ලෙස රජය මෙම තීරණය ගෙන ඇත. මේ පිළිබඳව වන නිවේදනය සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා විසින් සිදු කර තිබේ.

කෙසේ වෙතත් පෙර පරිදිම මෙරටට පැමිණෙන ගුවන් යානා කිහිපයක් සඳහා පමණක් ලබන අප්‍රේල් 7 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම තහනම බල නොපැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව, කොළඹ සිට ගුවන් මගින් මෙරටින් මගින් රැගෙන පිටත්ව යන ගුවන් යානා, ගුවන් මගින් සමගින් යම් කාලයකට නවත්වා තැබෙන ගුවන් යානා, තවත් ගුවන් යානයකට ගොඩවීම සඳහා (ට්‍රාන්සිට්) මගීන් රැගෙන එන ගුවන් යානා, හදිසි අවස්ථාවක් වෙනුවෙන් ගොඩබස්වන යානා, භාණ්ඩ රැගෙන එන ගුවන් යානා සහ මානුෂීය හේතුමත ගොඩබස්වන ගුවන් යානා, තාක්ෂණික කටයුතු සඳහා ගොඩබස්වන යානා සහ මගීන් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා මෙම තහනම ක්‍රියාත්මක නොවන බවත් පැවසෙයි.

Visits: 26