ජපාන ඉතිහාසයේ විශාලතම සහන පැකේජය COVID-19 වෙනුවෙන්

ජපාන ඉතිහාසයේ විශාලතම සහන පැකේජය COVID-19 වෙනුවෙන්

COVID-19 වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ජපාන ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා එරට ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් ලබා දුන් විශාලතම සහන පැකේජය ලබා දෙන බව අගමැති ෂින්සෝ අබේ පවසා සිටියි. අද ටෝකියෝ නුවරදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මේ පිළිබඳව පවසා ඇත.

එහිදී වෛරසය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම එම ආර්ථික කඩා වැටීම් නිසා ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇති එදිනෙදා ගෘහස්ත කටයුතු යළි යථාතත්ත්වයට පත් කරගැනීම වෙනුවෙන් අදාළ වන මුදල් ලබාදීම්ද මෙම සහන පැකේජයට ඇතුළත්ව තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් අදාළ සහන පැකේජයේ වටිනාකම කොපමණද යන්න අනාවරණය වී නැත. එහෙත් එය 2008 වසරේ ලෝක ආර්ථික අර්බුදය අවස්ථාවේදී ජපාන රජය එරට ආර්ථික කටයුතු කඩා වැටීම වැළැක්වීම වෙනුවෙන් ලබා දුන් ඩොලර් බිලියන 526ට (ජපාන යෙන් ට්‍රිලියන 56.8ට) වඩා බොහෝ වැඩි විය හැකි බව පමණක් වාර්තා වී තිබේ.

මෙහිදී 2020 වසර සඳහා අමතර අයවැයක් සකස් කරමින් මෙම සහන පැකේජය ගෙන එන බව ජපාන රජය පවසයි. එහිදී ඉදිරි දින 10 තුළදී ඊට අදාළ යෝජනාව එරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවත් අගමැති අබේ වැඩිදුරටත් පවසා ඇත.

Visits: 23