Nike සෞඛ්‍ය සේවකයන්ට ආරක්ෂක මුහුණු ආවරණයක් හඳුන්වා දෙයි

Nike සෞඛ්‍ය සේවකයන්ට ආරක්ෂක මුහුණු ආවරණයක් හඳුන්වා දෙයි

ක්‍රීඩා උපකරණ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සමාගමක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි Nike සමාගම එරට ඔරිගොන් පළාතේ COVID-19 වෛරස ආසාදිතයන් වෙත ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ හෙදියන් වෙත ආරක්ෂක මුහුණු ආවරණ උපාංගයක් හඳුන්වාදී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය අඟහරුවාදා පැවැත්වුණු සමුළුවකදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ඩොනාහෝ මෙම අලුත්ම පුද්ගලික ආරක්ෂක උපාංගය පිළිබඳව හඳුන්වාදී ඇත. ඔරිගොන්හි සෞඛ්‍ය සහ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් සමගින් එක්ව Nike සමාගම මෙම නව ඉදිරිපත් කිරීම සිදු කර ඇතැයි පැවසෙයි.

කෙසේ වෙතත් මෙම ආරක්ෂිත මුහුණු ආවරණය තවමත් මූලාකෘති මට්ටමේ පවතින බවත්,  සිය කණ්ඩායමේ සාමාජිකයන් මෙය තවදුරටත් දියුණු කර හැකි ඉක්මණින්ම ඔරිගොන් පළාතේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවලදීද COVID-19 වෛරස ආසාදිතයන් වෙත ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ හෙදියන් වෙත ලබාදීමට කටයුතු කරන බව ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇත.

“අපි වගේ සමාගම් අපේ පැත්තෙන් මොනවා හෝ දෙයක් කළ යුතුයි. එතැනදී අපි හඳුනාගත්තා සෞඛ්‍ය සහ විද්‍යාව පිළිබඳ ඔරිගොන් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට මේ මොහොතේදී මොනවාද අත්‍යවශ්‍ය වෙන්නේ කියලා. අපේ කණ්ඩායම ලබා දිය හැකි උපරිම උදව්ව ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.”

මෙම මාසය ආරම්භයේදීද ඩොන්හේ, ඔහුගේ බිරිඳ සහ Nike සමාගමේ හිටපු විධායක නිලධාරීන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් ඔරිගොන් පළාතේ සිදු කරන COVID-19 වෛරසයට එරෙහි සටන සඳහා සෞඛ්‍ය සහ විද්‍යාව පිළිබඳ ඔරිගොන් විශ්වවිද්‍යාලයට ඩොලර් මිලියන 7ක් ප්‍රදානය කර ඇත.

Visits: 26