බැංකු සහ රක්ෂණ ආයතන විවෘත කර තැබිය යුතු බවට ජනපතිගෙන් නියමයක්

බැංකු සහ රක්ෂණ ආයතන විවෘත කර තැබිය යුතු බවට ජනපතිගෙන් නියමයක්

ශ්‍රී ලංකා මහ බැංකු, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහාභාණ්ඩාගාරය අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය  පවසයි.

ඒ අනුව කිසිදු හේතුවක් මතවත් මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන වසා නොදැමිය යුතු බවත් ඒවා සියල්ල විවෘත තැබිය යුතු බවත් ජනපතිවරයා මෙහිදී නියම කර තිබේ.

ඒ අනුව, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා ඒවායේ ශාඛා සේම මහා  භාණ්ඩාගාරයද විවෘතව තබන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වෙත අද ලිඛිතව දැනුම් දී තිබේ.

එසේම සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩා බෙදා හැරීම, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම සෙසු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.

මීට අමතරව ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම්, ප්‍රධාන කාර්යය මණ්ඩලය හා ජනාධිපති කාර්යාලය සෑම දිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණකාලීනව ක්‍රියාත්මක බවද ආචාර්ය ජයසුන්දර මහතා සිය ලිපියෙන් කියා සිටී.

Visits: 35