අත්‍යවශ්‍ය ආහාර මලු නොවේ, සතියකට පවුලකට රුපියල් 5,000ක් දෙන්න – ආචාර්ය. හර්ෂ

අත්‍යවශ්‍ය ආහාර මලු නොවේ, සතියකට පවුලකට රුපියල් 5,000ක් දෙන්න – ආචාර්ය. හර්ෂ

COVID-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට හොඳම විසඳුම අත්‍යවශ්‍ය ආහාර මලු ලබා දීම නොව, ජනතාවගේ අතට මුදල් ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කිරීම බව හිටපු අමාත්‍යවරයෙකු වන ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ඒ අනුව සිදුකළ යුත්තේ සෑම පවුලක් වෙත සතියකට රුපියල් 5,000ක් බැගින් ලැබෙන ලෙස රුපියල් බිලියන 8ත් 20ත් අතර මුදලක් සෑම සතියකදීම රජය විසින් නිකුත් කිරීම බව හිටපු අමාත්‍යවරයා පවසා සිටියි.

“ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ 80ක් පමණ වන රැකියා නියුක්තිකියන්ගෙන් ලක්ෂ 30කට පමණක් මාසික වේතනයක් ලැබෙන්නේ.  ඉතිරි ප්‍රමාණයෙන් ලක්ෂ 17ක්ම දෛනික ආදායම් ලබන පිරිස්, ලක්ෂ 25ක්ම ස්වයං රැකියාවල නිරත වන පිරිස්. COVID -19 හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ඔවුන් සියලු දෙනාම අද ජීවත්වීමේ ගැටලුවලට මුහුණ දීලා. ඔවුන් අතර ඉතිරිකිරීම් නැහැ. සාමාජිකයන් හතර දෙනෙකු ඉන්න දුප්පත් පවුලකට වුණත් සතියකට ජිවත්වෙන්න රුපියල් 5,000ක් අවශ්‍යයි. ඒ නිසා සෑම සතියකදීම රජය රුපියල් බිලියන 8ත් 20ත් අතර මුදල් ප්‍රමාණයක් ජනතාව අතරට යන ලෙස කටයුතු සැලසුම් කළ යුතුයි.” ඔහු සිය ට්විටර් ගිණුමේ පවසා ඇත.

ඒ අනුව මෙම මුදල් මගින් ජනතාවට අර්බුදය සමතයකට පත්වන තෙක් ජීවත්වීමට අවස්ථාව ලබා දෙන බවත්, මෙම කාලසීමාවේදී කඩසාප්පු විවෘතව තැබුවහොත්, ගොවීන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව හිමි වන බවත් ඔහු පවසයි. උදාහරණ ලෙස එක්සත් ජනපදය පවා දැන් සිදු කරමින් පවතින්නේ ජනතාවට මුදල් ලබා දීම බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් ඔහු දැක්වූ අදහස් වෙත බහුතරයකගේ විරෝධයක්ද එල්ල වී ඇත. ඔවුන් සඳහන් කරන ආකාරයට දුප්පත් පවුලක් වෙත මෙලෙස සතිපතා රුපියල් 5,000ක් බැගින් ලබා දීම, එම නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමකට නොව මත්පැන් වැනි දේ මිලදී ගැනීමකට උදව් දීමක් බව ඔවුන් පවසා සිටියි.

එහිදී කැනඩාවේ සිදුවූ උදාහරණයක් දක්වා ඇති එක් අයෙකු, කැනඩා රජය මෙම COVID -19 නිසා ආදායම් අහිමි වූ සිය ජනතාවට සතිපදා ඩොලර් 500ක මුදලක් ලබාදීමට තීරණය කළ බවත්, එතැන් පටන් එරට තුළ මත්පැන් හල් වෙත මිනිසුන් වැඩි වූ බවත් පවසා සිටියි.

Visits: 36