COVID-19 නිසා ‘ඇන්කර්’ නැංගුරම හලයි… ඈත් වෙයි…

COVID-19 නිසා ‘ඇන්කර්’ නැංගුරම හලයි… ඈත් වෙයි…

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ ප්‍රධානම සන්නාමයක් වන ‘ඇන්කර් මිල්ක්’ සිය සන්නාමය යම් කැපී පෙනෙන වෙනස් කිරීමකට ලක් කර තිබේ.

COVID-19 වසංගතය නිසා රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන සිටින පිරිස් වෙත උපහාර පිදීමටත්, මෙම වසංගතයෙන් ගැලවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට දක්වන දායකත්වයක් ලෙසත් ඔවුන් මෙලෙස සිය සන්නාමය අලුතින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙතෙක් ඇන්කර් සන්නාමයේ පැවැති නැංගුරමේ සංකේතය වෙනුවට ශ්‍රී ලංකාවේ හැඩය ගත් ලකුණක් තුළ යුද හමුදා සාමාජිකයෙකු, වෛද්‍යවරයෙකු සහ හෙදියෙකු නිරූපණය වන ආකාරයට අලුත් නිර්මාණයක් ඉදිරිපත් කරන්නට ඇන්කර් පියවර ගෙන ඇත.

‘මනුස්සකම මුදුන් කොටගත් උතුම් විරුවන් අගයමු!’ ලෙස සටහන් කරමින් COVID-19 වසංගතය පාලනය සඳහා කැපවී  සිටින යුද හමුදාව, වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට දක්වන උපහාරයක් ලෙස ඔවුන් සිය සන්නාමය ඉදිරිපත් කර ඇත.

මේ අතර සුපුරුදු Anchor අකුරු පෙළ වෙනුවට පැහැදිලිවම තරමක් ඈත් වූ A n c h o r ලෙස පරතරයක් අනුව සටහන් වූ අකුරු පෙළක්ද මෙම සන්නාමය සඳහා යොදා ගැනීමට ඔවුන් කටයුතු යොදා තිබේ. ඒ හරහා COVID-19 වසංගතයෙන් මිදීම සඳහා අවශ්‍ය  මීටරයක පුද්ගල පරතරය පෙන්නුම් කර ඇත. එසේම Since 1886 යන්නත් ඊට ගැලපෙන ලෙසම පරතරය තබා ගනිමින් ඉදිරිපත් කර ඇත.

මේ අතර ඇන්කර් සන්නාමය COVID – 19 වසංගතය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය උපකාර කිරීම වෙනුවෙන් රජය ගන්නා උත්සාහයට සහාය දැක්වීමක් ලෙස පසුගියදා ‘මනුසත් දෙරණ’ වැඩසටහන වෙත රුපියල් කෝටියක මුදල් ප්‍රදානයක්ද සිදු කර තිබේ.

එසේම මේ වනවිට සිය ෆේස්බුක් ගිණුම හරහා COVID – 19 වසංගතයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය දැනුවත් කිරීමටද ‘ඇන්කර් මිල්ක්’ කටයුතු යොදා ඇත.

Visits: 1960