ඩොලර් 10ක තෙල් බැරලයකට සූදානමින් Shell, ExxonMobil, Chevron, Total වියදම් කපා හරී

ඩොලර් 10ක තෙල් බැරලයකට සූදානමින් Shell, ExxonMobil, Chevron, Total වියදම් කපා හරී

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඩොලර් 10ක අගයකට පත්වුවහොත් ඒ සඳහා සූදානම්වීමක් ලෙස ලොව මුල් පෙළේ ඉන්ධන සමාගම් රැසක් ඉදිරි පියවර කිහිපයක්ම ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදි සිය වියදම් කපා දැමීමටත්, ලාභාංශ ගෙවීම නැවැත්වීමත් යනාදී ලෙස එම සමාගම් තම වියදම් අඩු කිරීමට තීරණය කර තිබේ. දැනටමත් ලෝක වෙළෙඳ පොළෙ පොලේ බොරතෙල් මිල ඩොලර් 20ත් 30ත් අතර අගයක පවතී.

මෙහිදී නෙදර්ලන්තයේ Shell සමාගම පසුගිය සඳුදා සිය වියදම් 20% කින් කපා හැරීමට තීරණය කර ඇත. එය මුදල් වටිනාකමින් ඩොලර් බිලියන 5කට සමාන වෙයි. එසේම ප්‍රංශයේ Total සමාගම සහ නෝර්වේහි Equinor සමාගමත් මීට සමාන තීරණයක් ගෙන තිබේ.

මීට අමතරව ExxonMobile සහ Chevron යන සමාගම්ද සිය වියදම් අඩු කිරීමට පියවර ගෙන ඇත. ලොව සුප්‍රසිද්ධ ආර්ථික උපදේශන සමාගමක් වන Goldman Sachs සඳහන් කරන ආකාරයට Chevron සමාගමට සිය වියදම් ආවරණය කරමින් ලාභාංශ ගෙවීමට නම් බොරතෙල් බැරලයක මිල ඩොලර් 50ක අගයක් වීම  අනිවාර්යය වී තිබේ. එසේම ExxonMobile සඳහා එය ඩොලර් 70 කි.

නව කොරෝනා හෙවත් COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඇති වූ බොරතෙල් ඉල්ලුමේ පහළ යාම සහ ඉන් පසුව සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වූ බොරතෙල් මිල පිළිබඳ යුද්ධය හේතුවෙන් පසුගිය ජනවාරිය ආරම්භයේදී ඩොලර් 65ක්ව පැවැති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස ඩොලර් 20ත් 30ත් අතර තත්ත්වයට පත්ව තිබේ.

Visits: 87