කිරිවන්දෙණිය සණසTV නාලිකාව අරඹයි

කිරිවන්දෙණිය සණසTV නාලිකාව අරඹයි

සකසුරුවම් හා ණය ගනුදෙණු සමිතිය හෙවත් සණස ව්‍යපාපාරය මගින් ‘සණසTV’ නමින් යූටියුබ් නාලිකාවක් ඇරඹීමට කටයුතු යොදා තිබේ. සණස ආයතනයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් යුක්තව මෙම කටයුතු ඇරඹී ඇත.

මෙරට රූපවාහිනි නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදනය කර අත්දැකීම් සහිත කණ්ඩායමක් මෙම නාලිකාවේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දෙන බව පැවසෙයි. පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කර ඇති මෙම යූටියුබ් නාලිකාව සහ එහි ෆේස්බුක් පිටුව SANASA Tv ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය, ආයුර්වේදය, නව තාක්ෂණය, ව්‍යවසාය, පරිසරය, ගෘහ නිර්මාණශිල්පය, කලාව, කෘෂිකර්මය සහ සංස්කෘතිය යන කරුණු පාදක කරගනිමින් මෙම නාලිකාව හරහා වැඩසටහන් නිෂ්පාදනය කෙරෙන බවත්, වඩාත් යහපත් ජීවිත ගත කිරීම පිළිබඳ වන කරුණු පිළිබඳව සමස්ත ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම අරමුණ බවත් සණස Tv සිය හැඳින්වීමේ සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ජාතියේ මෙන්ම එහි ජනතාවගේ තිරසාරත්වය මෙන්ම සමස්ත මානව වර්ගයාගේම යහ පැවැත්ම වෙනුවෙන් මෙම නාලිකාව ක්‍රියා කරන බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

සණස බැංකුවේ පසුබිම සහ නාලිකාවේ ගුණාත්මකතාවය අනුව ඉදිරියේදී එය ඩයලොග් ටීවී. හෝ පියෝටීවී යන සේවා හරහා ඉදිරිපත් වීමේ යම් හැකියාවක්ද පවතී.

මේ වන විට සණස ව්‍යාපාරය යටතේ සණස සිකියුරිටි සර්විසස්, සණස ප්‍රින්ටර්ස්, සණස ට්‍රැවල්ස්, සණස කැම්පස්, සණස ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ්, සණස ඉංජිනියරිං ඇන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස මීඩියා නෙට්වර්ක්ස් යනාදී ලෙස එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාප්ත වුණු ව්‍යාපාර රැසක්ම පවතී.

1906 වසරේ සිට මෙරට පැවතුණු සමූපකාර සමිති සංකල්පය 1978 වසරේදී “සණස” නමින් ඉදිරිපත් කිරීමට ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාට හැකි විය. පසුව 1997 වසරේදී “සණස සංවර්ධන බැංකුව” ලෙස කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත, මෙරට ලියාපදිංචි වාණිජ බැංකුවක් බවට පත්වූයේ එයයි.

Visits: 63