ආහාර ද්‍රව්‍ය ඇනවුම් බෙදා හැරීමට ‘සතොස’ හා ‘Pickme’ එක්වෙයි

ආහාර ද්‍රව්‍ය ඇනවුම් බෙදා හැරීමට ‘සතොස’ හා ‘Pickme’ එක්වෙයි

COVID-19 වසංගතය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ඇනවුම් නිවෙස් වෙතම ගොස් භාරදීමේ කටයුත්තක් ඇරඹූ බව ලංකා සතොස පවසයි. මේ සඳහා ‘ලංකා සතොස’ ආයතනය ‘Pickme’ සමගින් එක්ව තිබේ.

ඒ අනුව ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ‘Pickme’ බෙදාහැරීම්කරුවන් සමගින් අද පෙරවරුවේදී මෙම ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම නිල වශයෙන් ආරම්භ වුණු බව ලංකා සතොස පවසයි.

රටෙහි පවතින තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කළ විට ජනතාව වැඩි වශයෙන් සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කඩසාප්පු සහ අලෙවි සැල් වෙත යාම නිසා මතු විය හැකි බවට හඳුනාගෙන ඇති අනාරක්ෂිතභාවයට පිළියමක් ලෙස මෙලෙස භාණ්ඩ ඇනවුම් නිවෙස් වෙතම ගොස් දීමේ කටයුත්ත ඇරඹීමට තීරණය වී තිබේ.

ඒ අනුව ඇඳිරිනීතිය පැනවී ඇති කාලසීමාවේ මෙන්ම නොමැති කාලසීමාවේද මෙම ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුවන බව ලංකා සතොස පවසයි.

මෙහිදී වියළි ආහාර ද්‍රව්‍ය මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයද ලබා දෙන බවත්, පාරිභෝගිකයන් වෙත තෝරාගත හැකි එකිනෙකට වෙනස් භාණ්ඩ ඇතුළත් මලු වර්ග හයක් ඉදිරිපත් කර තිබේ.

මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ඇනවුම් කිරීම සඳහා ස්මාට් දුරකතනයේ ඇති Pickme ඇප් වැඩසටහනේ ඇතුළත් Pickme Food යන්න වෙත ගොස්, එහි Groceries යටතේ ඇති Sathosa යන්න තෝරා ගත යුතුය.

එහිදී පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ ඇතුළත් භාණ්ඩ මළු පිළිබඳ විස්තර ඉදිරිපත් වෙන අතර, රුපියල් 250 සිට රුපියල් 2,000 දක්වා වන වටිනාකමකින් යුත් අයිතම ඇතුළත් වන ලෙස එම භාණ්ඩ මලු සකස් කර තිබේ.

අනතුරුව අවශ්‍ය භාණ්ඩ මල්ල තෝරා එය ඇනවුම් කර මුදල් ගෙවීමේ ක්‍රමවේදය වෙත යා හැකිය. මෙම ඇනවුම් සිදු කර පැය 24ක් ඇතුළතදී එම භාණ්ඩ නිවෙසටම ලැබෙන බවට සහතික විය හැකි බවත් ලංකා සතොස සඳහන් කරයි.

දැනට මෙම භාණ්ඩ ප්‍රවාහන සේවාව කොළඹ 1 සිට 12 දක්වා ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී රට පුරාම ක්‍රියාත්මක වන ලෙස මෙම සේවා දියත් කිරීමට සූදානමින් සිටින බවත් ලංකා සතොස පවසා සිටියි.

Visits: 45