COVID-19 අස්සේ සිංහපුත්‍ර ෆිනෑන්ස් කොටස් වෙළෙඳ පොළ Watch List ලැයිස්තුවට

COVID-19 අස්සේ සිංහපුත්‍ර ෆිනෑන්ස් කොටස් වෙළෙඳ පොළ Watch List ලැයිස්තුවට

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තු ගත සමාගමක් වන මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 40කට අධික අත්දැකීම් සහිත සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම පීඑල්සී සමාගම 2020 මාර්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය Watch List ලැයිස්තුවට ඇතුළත් කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසයි.

සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් ලෙස එහි 7.10.7. යන වගන්තිය ප්‍රතිපූර්ණය කිරීමට අපොහොසත්වීම මෙලෙස එය Watch List ලැයිස්තුවට ඇතුළත් කරවීමට හේතුව වූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

මේ අතර, පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිංහපුත්‍ර ෆයිනෑන්ස් පීඑල්සීහි බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ. එම සමාගමේ පැවැති මූල්‍ය අර්බුදකාරී තත්ත්වය සහ මූල්‍ය සමාගමක් ලෙස පවත්වාගත යුතු ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා නොතිබීම ඊට හේතුවිය.

තත්ත්වය මෙසේ පවතිද්දී මෙරට ප්‍රධාන පෙළේ තේ වතු හිමියෙකු වන ශ්‍රී ලංකා තේ වතු හිමියන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වන හරිත් රණසිංහ මහතා සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත මුදල් ආයෝජනය කරමින් එහි වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු යෙදුවේය. 

ඒ අනුව 2019 දෙසැම්බර් 05 වැනිදා වන විට ඔහු සභාපති ධුරය දරන සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම හරහා සිංහපුත්‍ර පීඑල්සීහි කොටස් මිලියන 31.6ක් අත්පත් කරගැනීමට සමත්ව ඇති අතර, එය කොටස් ප්‍රතිශතයක් ලෙස 50.31% කි.

මෙය එම සමාගමේ ප්‍රමුඛතම කොටස්  හිමිකම වන අතර මේ දක්වා එය ‍සතුව පැවතී ඇත්තේ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු  කළ රාවන් විජයරත්න මහතා වෙතයි. ඔහු සිංහපුත්‍ර සමාගමේ නිර්මාතෘවරයාගේ පුත්‍රයාද වෙයි.

අංක 11, හිල් ස්ට්‍රීට් මහනුවර යන ලිපිනයෙහි පිහිටි සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම 1978 වසරේ නොවැම්බර් 06 වැනිදා පිහිටුවා තිබේ. අනතුරුව 2007 වසරේ අංක 07 දරන නව සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් බවට එය පත්ව තිබේ. එය 2010 වසරේ ජූනි 2 වැනිදා සිට කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්විය. එසේම එම මොහොතේ සිට සමාගමේ නම ‘සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී’ බවටද වෙනස් විය.

තැන්පතු භාරගැනීම, ෆිනෑන්ස් පහසුකම් ලබාදීම, පෞද්ගලික ණය, උගස් ලබා ගැනීම්, මෝටර් රථ ආනයනය, දේපළ සංවර්ධනය, විදේශ මුදල් හුවමාරුව, රක්ෂණ සමාගම්හි උප නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම මෙන්ම වෙස්ටර්න් යුනියන් මනිට්‍රාස්ෆර් සේවාවේ උප නියෝජිතයෙකු ලෙසද සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කරයි.

අද වනවිට නුවර ප්‍රධාන කාර්යාලයට අමතරව කොළඹ, කුරුණෑගල, බණ්ඩාරවෙල, අනුරාධපුර, කටුගස්තොට, කුන්ඩසාලේ දඹුල්ල, මාතලේ සහ මහියංගනයේ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී කාර්යාල පිහිටුවා තිබේ. මීට අමතරව  දෙහිවල නගරයේ සිංහපුත්‍ර උගස් මධ්‍යස්ථානයක්ද පිහිටා තිබේ.

Visits: 193