ශ්‍රී ලංකන් සිය අවසන් මෙහෙයුමත් නිමා කරයි

ශ්‍රී ලංකන් සිය අවසන් මෙහෙයුමත් නිමා කරයි

COVID -19 වෛරසයේ ව්‍යාප්තවීම හේතුවෙන් මෙරටට සිදු කරන ගුවන් මෙහෙයුම් සීමා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයත් සමග ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 829 දෙනෙකු නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වුණු බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මෙම මගීන් වෙනත් ගුවන් සමාගම්වලින් ඉන්දියාවේ දඹදිව වන්දනාව ඇතුළු කාර්යයන් සඳහා ගිය පිරිසකි. ශ්‍රී ලංකා රජය විසින් ගුවන් මෙහෙයුම් සීමාවන් පැනවීම හේතුවෙන් එම ගුවන් යානා කොළඹ බලා මෙහෙයුම් නතර කර තිබේ. ඒ අනුව මෙම පිරිස මෙලෙස ඉන්දියාවේ අතරමංව සිටි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කර සිටියි.

මෙම මගීන් ප්‍රධාන වශයෙන් ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙන් සමන්විත වයස් කාණ්ඩවලට අයත් වූවන් බව හඳුනාගෙන ඇත. වෛරසයෙන් ආරක්ෂාවීමට පූර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබූ හෙයින්, ජාතික ගුවන් සේවය ඉතා කඩිනමින් හා ආරක්ෂිතව ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු සැලසූ බව ගුවන් සමාගම සඳහන් කරයි.

චීනයේ වුහාන් පළාතේ සිටි මෙරට සිසුන් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට පසුගිය පෙබරවාරි මාසයේදී මැදිහත්වීමෙන් අනතුරුව, බ්‍රිතාන්‍යයේ සිරවී සිටි පිරිසක් යළිත් මෙරටට ගෙන්වා ගැනීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා කටයුතු යෙදීය.

ඒ අනුව COVID -19 වෛරසය හේතුවෙන් විදෙස් රටවල සිටි මෙරට පිරිස් ගලවා ගැනීමේ සිය අවසන් මෙහෙයුමත් නිමා කරමින් ශ්‍රී ලාංකික ගුවන් සේවා කණ්ඩායම ඊයේ යළිත් මෙරටට පැමිණි බව ඔවුන් සඳහන් කරයි. මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගිතාව සහ උපදෙස් ලැබුණු බවත් මෙම කටයුත්තත් සමගම ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් වරක් ජාතික මෙහෙවරක් ඉටු කළ බවත් එම සමාගම සඳහන් කරයි.

Visits: 38