ඇඳිරි නීතිය නිසා මුද්‍රණය නැවතුණු සති අන්ත ඉරිදා පුවත්පත්

ඇඳිරි නීතිය නිසා මුද්‍රණය නැවතුණු සති අන්ත ඉරිදා පුවත්පත්

ඊයේ පෙරවරුවේදී රජය ගත් තීරණයකට අනුව සිකුරාදා පස්වරු 6.00 සිට සඳදා පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක වන ලෙස ඇඳිරි නීතිය පැනවීමත් සමගම මෙරට ප්‍රමුඛ පෙළේ ඉරිදා පුවත්පත් රැසක්ම මුද්‍රණය කිරීම් අතරමග නතර කර දැමීමට සිදුවුණු බව වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් සෙනසුරාදා අලුයම පුවත්පත් අලෙවි කුටි වෙත පැමිණෙන සති අන්ත ඉරිදා සිංහල පුවත්පත් සිකුරාදා රාත්‍රිය වනවිට මුද්‍රණය කර අවසන් කර සෙනසුරාදා අලුයම සිට බෙදා හැරීම සිදු කරයි. එසේම ඉංග්‍රීසි පුවත්පත් සෙනසුරාදා රාත්‍රියේ බෙදාහැර ඉරිදා උදයේ අලෙවි කුටි වෙත එයි.

එහෙත් ඊයේ සන්ධ්‍යාවේ සිට ක්‍රියාත්මක වුණු ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පුවත්පත් බෙදා හැරීමට ඇති ගැටලුව සහ පාරිභෝගිකයන් නොමැති වීමේ ගැටලුව නිසා ඒවා මුද්‍රණය කිරීම නැවැත්වීමට තීරණය කෙරී ඇත. (සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත්වල මුද්‍රණය පෙරවරුවේදී ලැබුණු ඇදිරි නීති පුවත නිසා එම මොහොතේම නවත්වා දැමීමට හැකි වී ඇත.)

ඒ අනුව සිළුමිණ, ඉරිදා ලංකාදීප, දේශය, ඉරිදා දිවයින, ඉරිදා මව්බිම, සති අග අරුණ යන සිංහල සති අන්ත පුවත්පත් මුද්‍රණය කරන ලේක්හවුස් සමාගම, විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම, සිලෝන් නිවුස්පේර්ස් සමාගම සහ ලිබර්ටි පබ්ලිකේෂන් පෞද්ගලික සමාගම යන සමාගම් වෙත මෙලෙස සිය මුද්‍රණ නවත්වා තිබේ. එම සමාගම්වල ඉංග්‍රීසි පුවත්පත්වල තත්ත්වයද එසේමය.

මේ අතරින් සෑම සිංහල සති අන්ත පුවත්පත් සමග අතිරේක ලබාදීමක් සිදු කරන අතර, එම අතිරේක සියල්ලම සාමාන්‍ය පිළිවෙත අනුව හෙට (22 වැනි ඉරිදා) දිනය සහිතව පසුගිය බදාදා දිනය වනවිට මුද්‍රණය කර අවසන් කරයි. ඒ අතරින් ඉරිදා ලංකාදීප පුවත්පත පමණක් සතිපතා ලක්ෂ පහකට ආසන්න පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කරයි. ඒ අනුව එම පුවත්පත මුද්‍රණය කරන අතිරේක සංඛ්‍යාවද එම ප්‍රමාණයට සමානය. එසේම එම සමාගමේ දේශය පුවත්පතද සමග පිරිනමන අතිරේකද ඒ වනවිටත් මුද්‍රණය කර තිබූ බව පැවසෙයි.

එසේම සතිපතා අරුණ පුවත්පතද පසුගිය බදාදා වනවිට සිය පුවත්පත සමග පිරිනමන අතිරේක අතරින් එක් අතිරේකයක් පමණක් මුද්‍රණය කර තිබූ බවත්, පැවැති අස්ථාවරත්වය නිසා අතිරේක කිහිපයක් මුද්‍රණය නොකර තිබූ බවත්, සිකුරාදා දිනයේදී මුද්‍රණය කිරීමට නියමිතව තිබූ පුවත්පතේ අනෙක් කොටස් මුද්‍රණයෙන් ඉවත් කළ බවත් එහි සේවකයෙකු පවසා සිටියේය.

සතිපතා මව්බිම පුවත්පතද සිය අතිරේක සියල්ලම පාහේ මුද්‍රණය කර තිබූ බවත්, පුවත්පතේ ප්‍රධාන කොටස් කිහිපයක් පමණක් සිකුරාදා මුද්‍රණයට තබා ගෙන තිබෙන පසුබිමක ඇඳිරි නීතිය වැටීම නිසා මුද්‍රණයෙන් නැවැත්වූ බවත් එහි කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු පවසා සිටියේය.

කෙසේ වෙතත් මෙම සති පතා පුවත්පත් අතරින් %සතිපතා අරුණ^ පුවත්පත අද දහවල් වන විට සිය අන්තර්ජාල පුවත්පත තම වෙබ් අඩවිය වෙත නිකුත් කර තිබූ අතර, ඒ හරහා පාඨකයන්ට පුවත්පත කියවීමේ අවස්ථාව ලබා දී තිබේ.

‘ඈත් වී එක්වන විශේෂිත මුද්‍රණය – අතේ දුරින්’ ලෙස එය ඉදිරිපත් කෙරී ඇත. කෙසේ වෙතත් විෂබීජ නසන විශේෂිත තීන්ත වර්ගයකින් මෙවර සිය පුවත්පත මුද්‍රණය කරන බව අරුණ  පුවත්පත පෙර ප්‍රචාරණ දැන්වීම්වල සඳහන් කර තිබුණි.

එහෙත් ලංකාදීප, මව්බිම, දේශය, දිවයින හෝ සිළුමිණ යන සිංහල පුවත්පත් කිසිවක් අන්තර්ජාල සංස්කරණය ලෙස හෝ  සිය පුවත්පත් පාඨකයන්ට ලබා දී නොතිබුණි.

එසේම ඉරිදා දිනයේ හෝ සඳුදා දිනයේ තම  පුවත්පත මුද්‍රණය නොවන බවට මෙතෙක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ලේක්හවුස් සමාගම මගිනි. අනෙක් කිසිදු පුවත්පතක් අද වනවිටත් ඒ පිළිබඳව සිය පාඨකයන්ට කරුණු දක්වා නැත.

Visits: 83