බොර තෙල් මිල තවදුරටත් ඩොලර් 30ටත් වඩා පහළ අගයක

බොර තෙල් මිල තවදුරටත් ඩොලර් 30ටත් වඩා පහළ අගයක

ලෝක වෙළෙද පොළේ බොරතෙල් බැරලයක මිල අද පෙරවරුව වන විට එක්සත් ජනපද ඩොලර් 30කට වඩා අඩු අගයක් ගෙන තිබූ බව වාර්තා වෙයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 28.13ක් ලෙස පැවතුණි. මෙය ඊයේ (18) රාත්‍රියේදී එහි අගය ලෙස පැවැති ඩොලර්  26.68ට අනුරූපව යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. එහෙත් පසුගිය අගහරුවාදා (17දා) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 30.76ක් ලෙස සටහන්ව තිබුණි.

එසේම එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල අද පෙරවරුව වන විට ඩොලර් 23.48ක් බවට පත්ව තිබුණි. ඊයේ (18දා) රාත්‍රියේදී එහි අගය ඩොලර් 22.10ක් දක්වා පහත වැටී තිබුණි. එහෙත් පසුගිය අඟහරුවාදා (17දා) වන විට මෙම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 28.22ක් ලෙස සටහන්ව තිබුණි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම නිසා ඇති වූ ඉන්ධන ඉල්ලුමේ අඩුවීම පසුගිය ජනවාරියේදී ඩොලර් 65ක් ලෙස පැවැති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස අඩුවීමට මූලික හේතුව විය. පසුව මාර්තු මාසය ආරම්භයේදී සෞදි අරාබියත් – රුසියාවත් අතර ඇති වූ බොරතෙල් යුද්ධය මෙලෙස බොරතෙල් මිල දරුණු ලෙස කඩා වැටීමකට හේතු වී තිබේ.

පසුගිය සතියේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල යළිත්  ඉහළ යාමක් පෙන්නුම් කළද, යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේ වනවිට නව කොරෝනා වෛරසයේ දරුණු ව්‍යාප්තිය නිසා හට ගෙන ඇති ඉල්ලුමේ අඩුවීම යළිත් වරක් එය කඩා වැටීමකට හේතු වී තිබේ.

මේ අතර දැනට පවතින තත්ත්වය එලෙසින්ම පැවතියහොත් ලෝක වෙළෙඳ පොළ තුළ බොරතෙල් වටිනාකම එතෙක් මෙතෙක් පත් වූ පහළම අගය ලබන මාසයේදී දැකගත හැකි වෙනු ඇතැයි පුරෝකතන ඉදිරිපත්ව තිබේ.

Visits: 61