හෙට දහවල් බ්‍රිතාන්‍යයේ සිට එන ගුවන් යානයකට ශ්‍රී ලංකන් වෙත විශේෂ අවසරයක්

හෙට දහවල් බ්‍රිතාන්‍යයේ සිට එන ගුවන් යානයකට ශ්‍රී ලංකන් වෙත විශේෂ අවසරයක්

බ්‍රිතාන්‍යයේ සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හෙට දහවල් 12.40 ට පැමිණීමට නියමිතව ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට සිය මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය හිමි වුණු බව ගුවන් සේවය පවසයි.

UL504 දරණ මෙම විශේෂිත ගුවන් යානය බ්‍රිතාන්‍යයේ සිරවී සිටින මෙරට පුරවැසියන් පිරිසක් රැගෙන පැමිණීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහිදී පවසා සිටියි. එය හෙට එනම් මාර්තු 19 වැනිදා මෙරට වේලාවෙන් දහවල් 12.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ගෙන ඇති තීරණයකට අනුව හෙට (මාර්තු 19) අලුයම 4.00න් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තය වෙත කිසිදු ගුවන් මගියෙකු භාර නොගැනීමට කටයුතු යොදා තිබේ.

මීට පෙර මෙය අද රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බවක්ද රජයේ බලධාරීන් පවසා තිබුණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන UL504 දරණ මෙම විශේෂිත ගුවන් යානය එම කාලසීමාවෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන නිසා ඒ සඳහා විශේෂිත අවසරයක් ලබා ගැනීමට සිදුවුණු බව මේ පිළිබඳව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ සිදු කළ විමසීමකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

“කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට ගුවන් මගීන් ඇතුළු කරගැනීම නැවැත්වීමට රජය ගත් තීරණයකට අනුව හෙට අලුයම 4.00 සිට පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපොළ වැසීමට තීරණය වී තිබෙනවා. මෙතැනදී හෙට අලුයම කාලය දක්වාම පැමිණීමට නියමිත ගුවන් යානා වෙත අවස්ථාව ලබාදී මේ තහනම පැමිණවීමයි අදහස වෙලා තියෙන්නේ.”

UL504 දරණ යානයෙන් පැමිණෙන මොවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කෙරෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයා පැවසීය.

කෙසේ වෙතත් මීට පෙර අද රාත්‍රී 12.00 ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම තහනම අලුයම 4.00 දක්වා කල්යාම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු, , මෙරටට ගුවන් මෙහෙයුම් සිදු කරන ගුවන් සේවා වෙත මෙම තහනම පිළිබඳව පැය 24ක කාලයකට පෙරාතුව දැනුම් දීම සිදුකළ යුතුව ඇති බවත්, ඒ අනුව මෙම කාලය අලුයම 4.00 පසු ආරම්භ වන බවත් සඳහන් කර සිටියේය.

මෙලෙස හෙට අලුයම 4.00 සිට කටුනායක ගුවන් තොටුපොළ මෙරටට පැමිණෙන මගීන් සඳහා වසා තැබුණද, මෙරටින් පිටවන ගුවන් යානා, කාර්ගෝ ප්‍රවාහන කටයුතු සදහා මෙන්ම මාර්ගස්ථ (Transit) මගීන් ලෙස කටුනායක ගුවන් තොටුපොළ යොදා ගන්නා මගීන්ටද ද අවශ්‍ය සේවා සැපයීමට ගුවන් තොටුපොළ විවෘත කර තැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

Visits: 48