නිවාඩු දින තුනේදී සිය කටයුතුවලට බාධා නොවීමට මහ බැංකුවෙන් ක්‍රියාමාර්ග

නිවාඩු දින තුනේදී සිය කටයුතුවලට බාධා නොවීමට මහ බැංකුවෙන් ක්‍රියාමාර්ග

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දින තුන තුළ සිය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව, මෙහිදී තත්කාලීන දළ පියවුම් පද්ධති මෙහෙයුම්, බැංකු අංශයේ මෙහෙයුම් සහ සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මහ බැංකුව සදහන් කරයි.

ඒ අතරින් තත්කාලීන දළ පියවුම් පද්ධති මෙහෙයුම් කටයුතු සඳහා අදාළ වන තත්කාලීන දළ පියවුම් පද්ධතියේ (RTGS) මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව මහ බැංකුව පවසයි.

එසේම බැංකු අංශයේ මෙහෙයුම් කටයුතු සියල්ල COVID-19 වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක විධිවිධාන සහිතව පවත්වාගෙන යන ලෙස බැංකු වෙත උපදෙස් ලබා දී තිබේ. එසේම සිය ගනුදෙනුකරුවන් පරිගණක හෝ ස්මාට් දුරකතන හරහා සිදු කරන ඔන්ලයින් බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කරමින් සිය මෙහෙයුම් පවත්වාගෙන යන ලෙසද උපදෙස් දී ඇත.

මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් පොදු මහජනතාව වෙත සැපයෙන සේවාවන් සීමා කර ඇති නිසා, මාර්තු 17 සිට 20 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙස හෝ පැමිණීම හැකිතාක් දුරට සීමා කරන ලෙස හෝ මහ බැංකුව දන්වා සිටියි.

කෙසේ වෙතත් අවශ්‍යම කාරණයක් සඳහා භාරදිය යුතු ලියකියවිලි ඇත්නම් ඒවා කොළඹ 1, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ලොයිඩ්ස් ගොඩනැලිල්ලේ තබා ඇති පෙට්ටිවලට බහාලිය හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර, සේවක අර්ථසාධක අරමුදල් කටයුතු සම්බන්ධ කිසියම් තොරතුරක් අවශ්‍ය නම් පහත දුරකතන අංකවලින් හෝ විද්‍යුත් ලිපිනයෙන් ලබා ගත හැකි බවත් මහ බැංකුව දන්වා සිටියි.

සේවක අර්ථසාධක අරමුදලේ ක්ෂණික ඇමතුම් – 011206690-94, ශ්‍රී ලංකා මහ බැංකුව 0112 2477000 සහ epfhelpdesk@cbsl.lk

COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් නගර වෙත ඒකරාශීවීම මඟහැරවීමට රජය විසින් මාර්තු 17,18 සහ 19 තෙදින විශේෂ නිවාඩුවක් ලෙස පසුගිය 16 දා ප්‍රකාශයට පත් කරන ලදි. එහිදී බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම නිවාඩුව වලංගු නැත.

Visits: 45