කොන්දේසි රැසක් මැද COVID-19 පරීක්ෂාව පෞද්ගලික රෝහල් වෙතත්

කොන්දේසි රැසක් මැද COVID-19 පරීක්ෂාව පෞද්ගලික රෝහල් වෙතත්

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂාව සිදු කිරීමට මෙරට පෞද්ගලික රෝහල් කර ඇති ඉල්ලීමට යහපත් ප්‍රතිකාර දක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කෝවිඩ් – 19  පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද සන්ධ්‍යාවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව දැඩි කොන්දේසි රැසක් යටතේ මෙම අවස්ථාව පෞද්ගලික රෝහල් වෙත ලබා දෙන බව ඒ මහතා පවසා සිටියේය.

“අපි  බලාපොරොත්තු වෙනවා පෞද්ගලික රෝහල් ඉතාමත්ම වගකීමෙන්, මුදල් ගැන විතරක් නොහිතා මේ කටයුත්ත සිදු කරාවි කියලා.” අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එහිදී එවැනි රෝගියෙකු අදාළ පරීක්ෂාවට ලක් කිරීමට පෙරාතුව ඔහු හෝ ඇය එම රෝහලට ඇතුළත් කරගත යුතු බවත්, COVID-19 වෛරසය හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂාව සිදු කිරිමට පෙර එම රෝගියා තුළ ඊට අදාළ රෝග ලක්ෂණ පවතින්නේද යන්න හඳුනාගත යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

“මෙය රෝගය විනිශ්චය කිරීමේ පරීක්ෂණයක් බව මුලින්ම එම රෝහල් වටහා ගත යුතුයි. ඒ වගේම රෝහලට ඇතුළත් කරගත් රෝගීන්ගේ පමණයි මෙම පරීක්ෂාව සිදු කළ යුත්තේ. මෙම පරීක්ෂණය කළ යුත්තේ මෙම රෝගයට අදාළ රෝග ලක්ෂණ තිබෙන රෝගීන්ගේ පමණයි.”

ඒ සඳහා කෝවිඩ් 19 පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අර්ථ දැක්වීම පෞද්ගලික රෝහල් මගින් හොඳින් අධ්‍යයනය කළ  යුතුව ඇතැයිද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. එම අර්ථ දැක්වීමට අනුගත නොවන්නේ නම් අදාළ පරීක්ෂාව නොකළ යුතු බවත් හෙතෙම පැවසීය.

“පරීක්ෂණය සිදු කිරීමට පෙර පරීක්ෂණය සිදු කරන රෝගියාගේ තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දිය යුතුයි. පරීක්ෂාවෙන් අනතුරුව එය ධන වුණත් ඍණ වුණත් (අදාළ රෝගියාට COVID-19 වෛරසය ආසාදනය වී තිබුණා හෝ නොතිබුණා) එම තොරතුරුද වසංගත රෝග විද්‍යා අංශයට දැනුම්දීම අනිවාර්යයයි.”

එසේම මෙම පරීක්ෂණය සිදු කිරීමේදී පැය 24ක කාලයක් ඇතුළත එහි ප්‍රතිඵල ලබාදීමට පෞද්ගලික රෝහල් කටයුතු කළ යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.

“පෞද්ගලික රෝහල් සාම්පල කිහිපයක් එකතු කරලා තමයි එක විට පරීක්ෂා කරන්නේ. එතකොට ප්‍රතිඵල ලබා දෙන්න දින තුනක කාලයක් ලබා දෙනවා. ඒ වගේම මේ පරීක්ෂාවන් සියල්ල විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වගකීම යටතේ සිදුවිය යුතුයි.”

මෙම කොන්දේසි යටතේ අදාළ පරීක්ෂාව සිදු නොකරන්නේ නම් එම පරීක්ෂාව එම රෝහලේ සිදු කිරීම නැවැත්වීමට අපට සිදු වෙනවා.

“අවසාන වශයෙන් අපි ඉල්ලා සිටිනවා මේ පරීක්ෂාව රුපියල් 6,000කට වඩා වැඩි මුදලකට මෙම පරීක්ෂණය සිදු කරන්න එපා කියලා. මොනයම් රෝහලක මේ පරීක්ෂාව කරන්න පහසුකම් නැත්නම් රජයේ රෝහල විද්‍යාගාරයක් හරහා එම රෝගීන්ගේ සෙම් පරීක්ෂාව සිදු කරගන්න පුළුවන්. එතැනදී පෞද්ගලික රෝහල් අපිට රුපියල් 6,000ක මුදලක් ගෙවිය යුතුයි.” සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Visits: 37