ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදුවලින් නිදහස්

ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදුවලින් නිදහස්

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව මෙම බදු නිදහස් කිරීම සිදු කර තිබේ.

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත්ව තවදුරටත්  ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබේ.

විශේෂයෙන්ම දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මෙම ඉල්ලුම අනුව සලකා බලා පසුගියදා මෙරට වෙළෙඳ පොළේ මුඛ ආවරණ සඳහා පාලන මිලක් ගෙන ඒමටද රජය ක්‍රියාත්මක විය.  එහිදී අදාළ මිලට මුඛ ආවරණ අලෙවි කළ නොහැකි බව පවසමින් ඇතැම් අලෙවි සැල් නිෂ්පාදන තොග තිබියදීද ඒවා අලෙවි නොකර සිටින ආකාරයද සමාජ මාධ්‍ය තුළ දැකගත හැකි විය.

එසේම ආනයනය කරන ලද මෙම මුඛ ආවරණවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් සහ ඒවා මිලදී ගැනීමට නොමැති වීමෙන් මේ වනවිට බොහෝ දෙනෙකු නිවෙස්වලදීද තමන්ට අවශ්‍ය මුඛ ආවරණ නිෂ්පාදනය කර ගැනීමේ ප්‍රවණතාවක්ද දැන් රට තුළ ඇතිවෙමින් තිබේ.

එසේම විෂ බීජ නාශක දියරද වෙළෙඳ පොළේ මිලදී ගැනීමට නොමැති වීම හේතුවෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍යවල පවතින උපදෙස් අනුව යමින් ඊට අවශ්‍ය ද්‍රව්‍ය කලවම් කරමින් නි‍වෙස්වලදීම විෂබීජ නාශක නිපදවීමේ කටයුතු සිදු කරමින් සිටින බවත් දැනගන්නට ලැබී ඇත.

එහෙත් මෙම නිෂ්පාදනවල සාර්ථක, අසාර්ථකභාවය පිළිබඳව තවමත් පැහැදිලිවම හඳුනාගෙන නැත.

Visits: 47