ඔටාරාගේ “Who we Are” ත් COVID-19 නිසා කල් යයි

ඔටාරාගේ “Who we Are” ත් COVID-19 නිසා කල් යයි

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මියගේ “ඔටාරා පදනම” මගින් සංවිධානය කරන්නට යෙදුණු “Who we Are” වෙළෙඳ ප්‍රදර්ශනය COVID-19 වෛරසයේ බලපෑම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරී තිබේ.

මේ පිළිබඳව සිය සංවිධානයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුව තුළ වීඩියෝ පටයක්ද නිකුත් කර සිටින ඇය, රටෙහි පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වයත් සමගින්ම මෙම වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වීමට නොහැකිවීම අවාසනාවන්ත අවස්ථාවක් බවත්, මෙම තත්ත්වය සමනයට පත්වූ වහාම ඉදිරි දිනයකදී මෙම වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදන බවත් පවසා සිටියි.

පසුගිය ජනවාරි මාසයේදී ඇය ආරම්භ කළ මෙම “Who we Are” වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ නිරත පිරිසගේ නිර්මාණ, දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය අඩිතාලම සැලසීම අරමුණ විය. 

ලබන අප්‍රේල් 4 සහ 5 යන දෙදින තුළ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල සංවිධානයවීමට නියමිතව තිබුණි.

එහිදී කලා නිර්මාණ, කාබනික ආහාර ද්‍රව්‍ය, විලාසිතා සහ ආභරණ, ආහාර සහ පාන වර්ග මෙන්ම රූපලාවන්‍ය සහ සුවතා යන අංශ යටතේ සිය නිර්මාණ සහ නිෂ්පාදන ඉදිරිපත් කරන ලෙස මෙම ව්‍යවසායන් වෙත ආරධනා කෙරිණි.එසේම මෙම “Who we Are වෙළෙඳ ප්‍රදර්ශනයට සූදානම්වීමක් ලෙස ඔටාරා ගුණවර්ධන පසුගිය මාස දෙක තුළදී එහි ප්‍රදර්ශනය සඳහා සුදුසු නිෂ්පාදන තේරීමක්ද සිදුකළ බව ඇගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුව තුළ සඳහන් කර තිබුණි.

Visits: 28