කටුනායක ගුවන් තොටුපොළේ ඉදිකිරීම් නිසි කලට සිදු නොකිරීමෙන් රටට බරපතල පාඩුවක්?

කටුනායක ගුවන් තොටුපොළේ ඉදිකිරීම් නිසි කලට සිදු නොකිරීමෙන් රටට බරපතල පාඩුවක්?

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රධාන පර්යන්තය ඇතුළු ඉදිකිරීම් නිසි කලට සිදුකිරීමට පියවර නොගැනීම නිසා පසුගිය වසර කිහිපයේදී මෙරටට බරපතල පාඩුවක් සිදුව ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි.

මෙම පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපානයේ තයිෂෙයි සමාගම වෙත ලබා දීමේ ගිවිසුම් අත්සන් කිරීම සදහා ඊයේ පැවැති උත්සවයේදී සභාපතිවරයා මේ අදහස් පළ කර තිබේ.

විශේෂයෙන්ම මෙම පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා මූලික කටයුතු 2012 වසරේදී ඇරඹුණු බවත්, ජපාන රජය මගින් 2012 සහ 2016 වර්ෂවලදී ඒ සදහා අරමුදල් ලබා දී ඇතැයි ඒ මහතා පවසයි. 

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ අවසන් කාලසීමාවේදී එනම් 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කිරිම සදහා මුල් ගල් තැබීම සිදුව තිබේ. ජපානයේ හිටපු අගමැති ෂින්ශුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු වුණු බවත් සභාපතිවරයා සදහන් කරයි.

එහෙත් ඉන්පසුව 2015 වසරේදී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව මෙහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක නොකළ බවත්, ඊට සංශෝධන ඉදිරිපත් කරමින් එම ආණ්ඩුව ඉදිකිරීම් පමා කළ බවත් ඔහු පෙන්වා දෙයි.

“මේ ප්‍රමාදය නිසා 2019 නොවැම්බර් 30 වන දිනය වන විට භාවිතයට නොගත් ණය මුදල් මත බෑමේ ගාස්තු ලෙස ජපන් යෙන් 200,493,808ක මුදලක් සහ ණය ගෙනුදෙනුව ආරම්භයේදී පනවනු ලබන ගාස්තුව ලෙස ජපන් යෙන් 90,856,000ක බරක් දැරීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට සිදුව තිබෙනවා.” සභාපතිවරයා පවසයි.පසුගිය රජය මගින් මෙම ප්‍රධාන පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය  නිසි ලෙස පවත්වාගෙන ගියේ නම් 2018 වසරේදී එහි කටයුතු අවසන් විය යුතුව තිබුණු බවත්, එහි ඉදිකිරීම් කඩිනම් වී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ සමයේදී බවත් හෙතෙම මෙහිදී සදහන් කර තිබේ.

පෙර ලිපිය : කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන පර්යන්තය ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කෙරේ

Visits: 42