හිටපු මහ බැංකු අධිපති යළිත් සුපුරුදු තැනට

හිටපු මහ බැංකු අධිපති යළිත් සුපුරුදු තැනට

හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව තමන් පෙර සේවය කළ පාත්ෆයිනඩර් ෆවුන්ඩේෂන් (Pathfinder Foundation) සංවිධානය සමගින් යළි එකතු වී ඇතැයි වාර්තා වෙයි.

2016 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට අනුව කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන අවස්ථාවේදී ඔහු එම සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මෑතකාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තේරී පත් වූ සාර්ථකම, වඩාත් නිහතමානීම පුද්ගලයා ලෙසටද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පිළිගැනේ. 

1973 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු සුපරීක්ෂණ අංශයේ නිලධාරියෙකු ලෙස සේවයට  බැදුනු ඒ මහතා 1989 දක්වා එහි සේවය කළේය. එසේම 1981 සිට 1989 දක්වා ඔහු මුදල් සහ සැලසුම් අමාතයාංශය වෙත අනුයුක්තව සිටියේය. ඉන් අනතුරුව කුමාරස්වාමි මහතා 1990 සිට 2008 දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, මහලේකම්වරයාගේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර තිබේ.

මේ කටයුතුවලට අමතරව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමේ නිරත ලාබ නොලබන, අපක්ෂපාතී පර්යේෂන සහ උපදේශන ආයතනයක් ලෙස පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් සංවිධානය සැලකෙයි.

හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා විසින් පිහිටුවන ලද එම සංවිධානයේ සභාපතිවරයා වන්නේ හිටපු විදේශ අමාත්‍ය ලේකම්වරයෙකු වන බර්නාඩ් ගුණතිලක මහතාය. 

2008 වසරේදී ලියාපදිංචි කෙරුණු මෙම සංවිධානය වෙළෙඳ පොළ මූලික කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විදේශීය හවුල්කාරීත්වය සහිත රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් මගින් සිදු කරන පුද්ගලයාගේ සිට පුද්ගලයා දක්වා සබඳතා ප්‍රවර්ධනය කිරීම සිදු කරන බව පවසයි.

මේ වනවිට  එම සංවිධානය උපදේශක මණ්ඩලයක් ලෙස කටයුතු කරන අතර, ඉතා උසස් මට්ටමේ වෘත්තීමය සේවාවක් ලබාදීම අරමුණ වී තිබේ. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය, ව්‍යාපෘති කළමනාකරණය, විදුලි බලය හා බලශක්තිය සහ මාර්ග සංවර්ධන යන ක්ෂේත්‍රය ඊට ඇතුළත් වෙයි. 

Visits: 90