පහළ වැටුණු බොරතෙල් මිල යළි ඉහළට නගී

පහළ වැටුණු බොරතෙල් මිල යළි ඉහළට නගී

පසුගිය සති අන්තයේදී තෙල් වෙළෙඳ පොළෙහි සිදුවුණු මතභේදකාරී තත්ත්වය හමුවේ දරුණු ලෙස කඩා වැටුණු ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල යළිත් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව අද පෙරවරුව වන විට ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට මිල එක්සත් ජනපද ඩොලර් 38.14ක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත් පසුගිය ඉරිදා දිනය වනවිට මෙම අගය ඩොලර් 32.10 ක් දක්වා පහත බැසීම සිදු විය. 

එසේම එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක මිල අද පෙරවරුව වන විට ඩොලර් 35.12ක් දක්වා ඉහළ නැග තිබුණි. පසුගිය ඉරිදා දිනයේදී මෙම අගය ඩොලර් 27.86ක් දක්වා පහත බැසීම සිදු විය. 

ලොව බොරතෙල් නිෂ්පාදනයේ ප්‍රධානම රාජ්‍යයක් වන සෞදි අරාබිය සහ රුසියාව අතර යෝජිත අමතර දෛනික බොරතෙල් නිෂ්පාදන කප්පාදුව සම්බන්ධයෙන් ඇති වූ මතභේදකාරී තත්ත්වය මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල දරුණු ලෙස කඩා වැටීමට හේතු විය. 

මෙය 1991 වසරේ ඇති වූ ගල්ෆ් යුද්ධය සමයට පසුව බොරතෙල් මිල පහළ බැසි ඉහළම අගය විය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 40 දක්වා අඩුවීම වළක්වා ගැනීම වෙනුවෙන් උපායක් ලෙස සැපයුම අඩු කිරීම සඳහා සෞදි අරාබිය පසුගිය වසරේදී මෙම තීරණය ගෙන තිබුණි. එහෙත් දෙසැම්බර් මාසයේදී හට ගෙන ජනවාරි මාසයේදී උත්සන්න වූ චීනයේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් ඉල්ලුම අඩුවී එහි අගය පහත වැටීමට ලක් විය.

උදා වී ඇති වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටි රුසියාව ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් බැරලයක මිල ඩොලර් 25 සිට ඩොලර් 30 දක්වා වසර 10ක කාලයක් පැවතියත් තම ආර්ථිකයට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද පවසා තිබුණි. 

කෙසේ වෙතත් මෙම ගැටුමේ පළමු වින්දිතයා බවට පත්ව ඇත්තේ එක්සත් ජනපදයේ ශල්ක තෙල් නිෂ්පාදකයන්  බව ලෝක මාධ්‍ය පවසයි. මේ වන විට එම ශල්ක තෙල් නිෂ්පාදකයන් අතරින් බොහෝ පිරිසක් බංකොලොත්භාවයට පත්ව ඇති බවත්, සිය වියදම් කපා දැමීමක් සිදු කරමින් සිටින බවත් වාර්තා පවසයි.ආසන්න කාලසීමාවේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල යම් මට්ටමකින් අඩුකිරීමට හේතු වූයේද එක්සත් ජනපදයෙන් ආ මෙම ශල්ක තෙල් නිෂ්පාදනයයි. එහෙත් ශල්ක තෙල් නිෂ්පාදනයේ පවතින තත්ත්වයත් සමගින්ම ඉදිරියේදී ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ මට්ටමට පත්වෙනු ඇතැයි අපේක්ෂාව වී තිබේ. එහෙත් එය ආසන්න කාලසීමාවේදී ඉතා ඉහළ මට්ටමකට පත්වීමේ අවස්ථාවක් නැතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පෙර ලිපිය: සෞදි – රුසියා තෙල් යුද්ධයෙන් ලෝක වෙළෙද පොළේ බොර තෙල් මිල සීඝ්‍ර ලෙස පහතට

Visits: 59