තවමත් හොඳ සබඳතා නොමැති රටකට 5G ප්‍රථිපලදායක නැහැ – TRC අධ්‍යක්ෂ ජනරාල්

තවමත් හොඳ සබඳතා නොමැති රටකට 5G ප්‍රථිපලදායක නැහැ – TRC අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකාව තුළ නවතම 5G සන්නිවේදන තාක්ෂණය ස්ථාපිත කරවීමට පෙරාතුව රටෙහි සෑම ස්ථානයක් තුළම හොඳ සන්නිවේදන සබඳතාවක් නිර්මාණය කිරීම අතිශය වැදගත් අවස්ථාවක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා පවසයි.

පසුගියදා කොළඹදී පැවැත්වුණු ICT Open Forum With Regulators වැඩසටහනේදී අදහස් දක්වමින් ඒ මහතා මේ කරුණු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) මගින් සංවිධානය කළ මෙම සංවාද මණ්ඩපය සඳහා එම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියාමකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ වී සිට ඇත. එහිදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට සහභාගි විය.

විශේෂයෙන්ම අද වනවිට මෙරට දුරකතන සේවා සපයන්නන් අතර 5G තාක්ෂණය සඳහා වැඩි උනන්දුවක් පවතින බවත්, ඊට පෙර මෙම දූපත් රාජ්‍යය තුළ සැපිරිය යුතු සන්නිවේදන සබඳතා ගැටලු පවතින බවත් පෙන්වා දී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා, “අපි දැන් මේ 5G තාක්ෂණය ගැන කතා කළත්, අදටත් රටේ ජනතාව දුරකතන ඇමතුමක් ගන්න එහේ මෙහේ දුවන අවස්ථා තියෙනවා. වඩාත් හොඳ සබඳතාවක් රට තුළ නිර්මාණය කරලා ඊට පස්සේ මේ නව තාක්ෂණය ගැන අවධානය යොමු කිරීම වඩාත් හොඳයි කියලයි මම හිතන්නේ.” යනුවෙන් පවසා තිබේ.

සේනානායක මහතා පවසන ආකාරයට අද වනවිට රට පුරාම කිසිදු සන්නිවේදන සබඳතාවක් නොමැති ස්ථාන 2,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් හඳුනාගැනීමට ලක් කර තිබේ. එම ස්ථානවල අඩුම තරමින් 2G සබඳතාවක් හෝ නොපවතින බව ඔහු මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනටමත්”ගමට සන්නිවේදනය” නම් වැඩසටහනක් යටතේ මෙරට තුළ කිසිදු සන්නිවේදන පහසුකමක් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ හරහා මෙම ස්ථාන හඳුනාගැනීමට ලක් කෙරෙමින් තිබේ.

මෙහිදී ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් සන්නිවේදන පහසුකම් සඳහා අවශ්‍ය ජංගම දුරකතන සංඥා පිළිබඳ තාක්ෂණික පරීක්ෂාව සිදු කෙරෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂම සඳහන් කරයි.

Visits: 76