HSBC කලම්බු ෆැෂන් වීක් මාර්තු 18 සිට 21 දක්වා

HSBC කලම්බු ෆැෂන් වීක් මාර්තු 18 සිට 21 දක්වා

හොංකොං ෂැන්ග්හයි බැංකුව හෙවත් HSBC බැංකුවේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන්  පැවැත්වෙන HSBC කලම්බු ෆැෂන් වීක් 2020 විලාසිතා දැක්ම ලබන මාර්තු 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙරටදී පැවැත්වෙන විශාලතම විලාසිතා දැක්ම ලෙස සැලකෙන HSBC කලම්බු ෆැෂන් වීක් විලාසිතා දැක්ම, මෙවර සංවිධානය කෙරෙන්නේ 17 වැනි වරටවීම එහි ඇති විශේෂත්වයයි.

මේ වසරේ HSBC කලම්බු ෆැෂන් වීක් විලාසිතා දැක්ම හරහා දේශගුණික විපර්යාස සහ ලෝකයට සිදුවන හානිය පිළිබඳව කරුණු ඉස්මතු කරලීම අරමුණ බව එහි සංවිධායකයෝ පවසති. ඒ අනුව මෙම විලාසිතා දැක්ම හරහා ශ්‍රී ලංකාවේ විලාසිතා වඩාත් තිරසාර මට්ටමින් සිදු කිරීම අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව මෙවර විලාසිතා දැක්මට සමගාමීව “විලාසිතාකරණය තුළ වගකීම” යන මැයෙන් වැඩසටහනක් සංවිධානය කෙරී ඇත. එහිදී ඇගලුම් වැඩිදියුණු කිරීම සහතික කිරීම, ඇගලුම් බැහැර කිරීමේ සැලසුම සහ භාවිත කිරීමෙන් අනතුරුව තවත් කටයුත්තක් සඳහා එම ඇගලුම් යොදා ගැනීම ඇතුළත් වෙයි. මෙම කටයුත්ත හරහා ඇගලුම් නිෂ්පාදන අවසානයේදී පරිසරයට හානි කර ලෙස ඉඩම් ගොඩකිරීම් සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයක් වීම වළක්වා ගැනීම අදහස වී තිබේ.

HSBC කලම්බු ෆැෂන් වීක් 2020 විලාසිතා දැක්ම සඳහා විලාසිතා නිර්මාණකරුවන් 30 දෙනෙකුට ආසන්න පිරිසකගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එහි සංවිධායකයෝ පවසති. එහිදී ජාත්‍යන්තර නිර්මාණකරුවන් වන කනිකා ගොයාල් සහ සිද්ධාර්ත ටයිලර්ට අමතරව ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණකරුවන් වන චරිනි සූරියගේ, දිමුතු සහබන්ධු, ඉන්දීවරී යාපා අබේවර්ධන, ෂර්මිලා රුබේරු, දිනේෂ් චන්ද්‍රසේන, අසංක ඩි මෙල්, දිනුෂි පමුණුව, අමිලානි පෙරේරා, අස්ලාම් හුසේන්, කමිල් හේවාවිතාරණ සහ ෆොවුසුල් හමීඩ් යන පිරිසද වන බව පැවසෙයි.

Visits: 41