මහබැංකු රෙගුලාසිවලට අනුමත නොවන මූල්‍ය සමාගම් මාස හයකින් ප්‍රසිද්ධියට

මහබැංකු රෙගුලාසිවලට අනුමත නොවන මූල්‍ය සමාගම් මාස හයකින් ප්‍රසිද්ධියට

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබා දී ඇති නියාමන රෙගුලාසි සම්පූර්ණ කිරීමට අපොහොසත්වන බැංකු නොවන මූල්‍ය ආයතනවල නම් තවත් මාස හයකින් පසුව ප්‍රසිද්ධියට පත් කරන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි.

වසර 2021 ජනවාරි මාසය වන විට සිය ප්‍රාග්ධනය රුපියල් බිලියන 2 සිට 2.5 දක්වා ඉහළ නංවා ගත යුතු බවට මෙම මූල්‍ය සමාගම් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ඉලක්කයක් ලබා දී තිබේ. ඒ අනුව ඉදිරි මාස 3ත් 6ත් අතර කාලය ඔවුන්ට මේ රෙගුලාසි සම්පූර්ණ කරගැනීමට අවස්ථාව ලබා දෙන බව මහ බැංකුව පවසයි. 

“මෙතැනදී තම ආයතනවල ප්‍රාග්ධනය වෙත තවත් වැඩිපුර මුදල් එකතු කරගැනීම හෝ දැනට ක්‍රියාත්මක මූල්‍ය ආයතන ඒකාබද්ධවීමක් සිදු කළ  හැකියි. අපි ලබා දී ඇති මේ නියමිත කාලය තුළදී එම ඉලක්ක සම්පූර්ණ කිරීමට අපොහාසත් වන මූල්‍ය සමාගම්වල නම් ප්‍රසිද්ධියට පත් කරන්නට කටයුතු කරනවා.” කරුණාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට දැනට මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් 42ක් අතරින් 20ක්ම අර්බුදයට පත්ව තිබේ. ඒ අතරින් මූල්‍ය සමාගම් 10ක් වෙත අදාළ කාලසීමාව තුළදී සිය ප්‍රාග්ධන වර්ධනය කරගැනීමේ අපොහොසත් බවකින්  පෙළෙන බවත් හඳුනාගෙන ඇත.

Visits: 667