COVID19 නිසා ශ්‍රී ලංකන් චීනයට සහ ජෙඩා වෙත ගුවන් ගමන් නවත්වයි

COVID19 නිසා ශ්‍රී ලංකන් චීනයට සහ ජෙඩා වෙත ගුවන් ගමන් නවත්වයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන මාර්තු 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා චීනයට සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව නිවේදනයක් මගින් සඳහන් කරයි. මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වී ඇති COVID19 වෛරසය හේතුවෙන් චීන වෙළෙඳ පොළ වෙත සිදුවන ගුවන් ගමන් සහ ඉන් සිදු කෙරෙන ගුවන් ගමන් සැලකිය යුතු ලෙස අඩුව තිබීම සලකා බලා මෙම තීරණය ගත් බව ගුවන් සමාගම පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදුකළ සිය මෙහෙයුම් යටතේ බීජිං, ෂැන්ග්හයි සහ ගුආන්ග්ෂොයු යන ගුවන් තොටුපොළ වෙත සේවා සැපයීම සිදු කර තිබේ. එහෙත් ආසන්න කාලසීමාවේදී මෙම ගුවන්  යානා තුළ ප්‍රමාණවත් තරම් මගීන් නොමැතිවීම මෙලෙස එම සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවීමට හේතුව වී තිබේ. 

මීට මාසයකට පෙරාතුව එනම් පසුගිය පෙබරවාරි 06 වැනිදා ගත් තීරණයකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදුකරන ගුවන් ගමන් වාර සීමා කිරීමට පියවර ගෙන තිබුණි. විශේෂයෙන්ම ලොව අනෙකුත් ගුවන් යානා සමාගම් සහ චීනයේ ගුවන්  යානා සමාගම්ද එරටට සිදුකරන ගුවන් ගමන් නැවැත්වූ මොහොතක ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් චීනය වෙත යාමට තීරණය කර තිබූ බවත් ගුවන් සේවය මතක් කරදෙයි.

කෙසේ වෙතත් අප්‍රේල් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම තහනම තාවකාලික බවත්, ඊට පෙර වෙළෙඳ පොළ යළිත් යථා තත්ත්වයට පත්වන ඕනෑම මොහොතකදී යළිත් චීනය වෙත පියාසැරි සිදු කිරීමට සිය සමාගම සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මේ අතර, ලබන මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලසීමාව තුළදී සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත සිදුකරන ගුවන් ගමන්ද අත්හිටුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් මගින් සඳහන් කරයි. සෞදි අරාබියානු සිවිල් ගුවන් සේවා අදිකාරිය මගින් නිකුත් කර ඇති එරටට සංචාරය කිරීම සම්බන්ධ සීමා කිරීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකන් පවසයි. 

සෞදි අරාබි බලධාරීන් ගෙන ඇති තීරණයකට අනුව චීනය (තායිවානය,හොංකොං සහ මැකාඕ ඇතුළත්ව), ඉරානය, ඉතාලිය, දකුණු කොරියාව, ජපානව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරාකය, පිලිපීනය, සිංගප්පූරුව, ඉන්දියාව, ලෙබනනය, සිරියාව, යේමනය, අසර්බයිජානය, කසකස්ථානය, උස්බෙකිස්තානය, සෝමාලියාව සහ වියෙට්නාමය යන රටවල පුරවැසියන්ට මේ වනවිටත් එරටට ඇතුළුවීමේ සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් සෞදි අරාබියේ අනෙකුත් නගර වන රියාද් සහ ඩමාන් නුවර වෙත සිදුකරන ගුවන් ගමන් එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකන් සඳහන් කර සිටියි.

Visits: 26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *