රූපවාහිනි සහ ගුවන් විදුලි බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් “විකාශන නියාමන කොමිෂන් සභාවක්”

රූපවාහිනි සහ ගුවන් විදුලි බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් “විකාශන නියාමන කොමිෂන් සභාවක්”

මෙරට තුළ පෞද්ගලික රූපවාහිනි සහ ගුවන් විදුලි සේවාවන් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් “විකාශන නියාමන කොමිෂන් සභාව” යනුවෙන් නව ආයතනයක් පිහිටුවීම සඳහා යෝජනාවක් කෙටුම්පත් වී ඇතැයි වාර්තා වෙයි.

තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී ඊට අනුමැතිය හිමිව තිබේ.

මෙම බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම පිණිස පත් කරන ලද කමිටුවක් විසින් ගුවන් විදුලි හා රූපවාහිනි යන මාධ්‍යයන් දෙවර්ගයම සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස වෙනම ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබීම මෙලෙස “විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීමට හේතුව වී තිබේ.

ඒ අනුව මෙම කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත්, ගුවන් විදුලි හා රූපවාහිනි විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යභාරය එම විකාශන නියාමන කොමිෂන් සභාව මගින් ඉටු කරවා ගැනීමේ ඇති හැකියාව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහාත් ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

දැනට මෙරට තුළ පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් පවත්වාගෙන යාම සඳහා 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත යටතේ ඇති ප්‍රතිපාදන අනුවද, පෞද්ගලික රූපවාහිනි සේවාවන් පවත්වාගෙන යාම සඳහා 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනතේ ප්‍රතිපාදන අනුවද බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

ඒ අනුව, මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන බලපත්‍ර 27ක් සහ රූපවාහිනි විකාශන බලපත්‍ර 54ක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් නිකුත් තිබේ. එහෙත් වර්තමානයේදී ක්‍රියාත්මක වන්නේ ගුවන් විදුලි විකාශන බලපත්‍ර 18ක් සහ රූපවාහිනි විකාශන බලපත්‍ර 28ක් පමණක් බව අනාවරණය වී ඇත.

Visits: 67

Leave a Reply

Your email address will not be published. Required fields are marked *