“මොරටු ලී” සන්නාමය එළිදැක්වෙයි

“මොරටු ලී” සන්නාමය එළිදැක්වෙයි

නවෝත්පාදනය හරහා දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශිෂ්ඨත්ව මධ්‍යස්ථානයක් බවට මොරටු ප්‍රදේශය පත් කිරීමේ පළමු පියවර ලෙස, මොරටුව දැව කර්මාන්තයේ අනන්‍යතාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් “මොරටු ලී සන්නාමය පසුගියදා එළිදැක්වුණි.

මොරටුව, කටුබැද්ද, ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේදී තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම එළිදැක්වීම සිදුවී තිබේ.

ශ්‍රී ලාංකීය දැව හා දැව ආශ්‍රිත කර්මාන්තය උසස් තාක්ෂණික ගෝලීය අපනයන වෙළෙඳ පොළ දක්වා රැගෙන යාමත් මෙම සන්නාමය හඳුන්වාදීමේ අදහස වී තිබේ.

ශ්‍රී ලාංකීය දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ, විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTTI) සහ මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සහයෝගිතාවයෙන් ඒකාබද්ධ ව්‍යාපෘතියක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේ. 

එම ව්‍යාපෘතිය යටතේ දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානයක් සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට නියමිත බව තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය පවසයි.

එහිදී මෙම මධ්‍යස්ථානය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වීමෙන් ශ්‍රී ලාංකීය දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන හා නවෝත්පාදන නිර්මාණයන් තරගකාරී ගෝලීය වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීමට හැකියාව උදා වන බවත්, ශ්‍රී ලාංකීය දැව කර්මාන්තයේ උන්නතිය සඳහා අංග සම්පූර්ණ සේවා සපයන මධ්‍යස්ථාන ලෙසද ඒවා ඉදිරි අනාගතයේදී ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසෙයි.

Visits: 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *