මෙරට මූල්‍ය සහ ලීසිං සමාගම් දැඩි පීඩනයක – ෆිච් රේටින්ග් පවසයි

මෙරට මූල්‍ය සහ ලීසිං සමාගම් දැඩි පීඩනයක – ෆිච් රේටින්ග් පවසයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ ලීසිං සමාගම් වෙත ඉදිරිපත්ව ඇති නියාමන කොන්දේසි, ප්‍රාග්ධන වත්කම් ඉහළ නංවා ගැනීම හා සම්බන්ධ නියෝග මෙන්ම ගනුදෙනුකරුවන් ලබා ගත් – දැනට නොගෙවා ඇති ණය යනාදී කාරණා හේතුවෙන් එම සමාගම් දැඩි පීඩනයට ලක්ව තිබෙන බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග් (Fitch Rating) ආයතනය පවසයි.

විශේෂයෙන්ම මෙම මූල්‍ය සහ ලීසිං සමාගම්වල නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රෙගුලාසිවලට අනුව, එකී සමාගම් වසර 2021 වන විට සිය ප්‍රාග්ධනය දැනට ඇති රුපියල් බිලියන 2 සිට බිලියන 2.5 දක්වා වර්ධනය කරගත යුතුව ඇත.

එසේම මහ බැංකු දත්ත වාර්තා අනුව 2019 වසරේදී මෙකී සමාගම්වලින් ණය ලබා ගැනීම්හි වර්ධනය සටහන්ව ඇත්තේ 0.5%ක් ලෙසිනි. එහෙත් 2015ත් 2018ත් කාලසීමාවේදී එය 12.9%ක අගයක් ගෙන ඇත.

මීට අමතරව මූල්‍ය සමාගම් සතු ආපසු නොගෙවන ණය ප්‍රතිශතය 2019 වසරේ සැප්තැම්බර් මාසය වනවිට 9.86%ක අගයක් ලෙස සටහන්ව ඇති අතර විශේෂිත ලීසිං සමාගම්හි එම ප්‍රතිශතය 4.47% කි.

ආසන්න කාලසීමාවේදී මෙරට ආර්ථිකයේ පැවැති අයහපත් තත්ත්වය මේ සඳහා හේතු වී ඇතැයි  එම ආයතනය පෙන්වා දෙයි. ඒ අනුව මෙරට ආර්ථික වර්ධනයේ පවතින දුර්වල තත්ත්වය ඉදිරියටත් එලෙසින්ම පැවතීම මෙම මූල්‍ය සහ ලීසිං සමාගම් වෙත සිය ලාභ වර්ධනය කරගැනීම සඳහා බාධාවක් බවටද ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවද ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමේ නියෝගය පමා කිරීමේ අදහසක්ද මෙතෙක් පෙන්නුම් කර නොමැති වීම මේ තත්ත්වයට හේතු වී ඇත.

එහිදී මෙම අවදානම තනිවම ක්‍රියාත්මක වන කුඩා ප්‍රමාණයේ මූල්‍ය සමාගම් වෙත දැඩිව බලපානා බවද ඔවුන්  කියා සිටියි.

2018 වසර අවසන් වනවිට මෙරට සමස්ත මූල්‍ය පද්ධතියේ වත්කම් අතරින් 7.6 %ක ප්‍රමාණයක් මෙම මූල්‍ය හා ලීසිං සමාගම් සතුව පැවතුණු බව වාර්තා පවසයි.

එසේම මෙරට ඇති ප්‍රධාන පෙළේ මූල්‍ය හා ලීසිං සමාගම් 10ක් එම ක්ෂේත්‍රයේ වත්කම් අතරින් 69%ක් දරා සිටින ඉතිරි 31% ක වත්කම් ප්‍රමාණය කුඩා සමාගම් 33ක් අතර බෙදී ගොස් තිබේ.

ඒ අනුව මෙම මූල්‍ය සහ ලීසිං සමාගම් සතු ප්‍රාග්ධන වර්ධනය කරගැනීමේ මූලික අවශ්‍යතාව යටතේ ඉදිරියේදී කුඩා මූල්‍ය සහ ලීසිං සමාගම් ඒකාබද්ධ වීමේ වැඩි අවස්ථාවක් පවතින බවත් ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි.

මේ අතර, අද වනවිට මෙරට ක්‍රියාත්මක මූල්‍ය සහ ලීසිං සමාගම් 42 අතරින් 20ක් අර්බුදකාරී තත්ත්වයෙන් පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතාද මීට පෙර අවස්ථාවකදී සදහන් කර තිබුණි.

Visits: 525

Leave a Reply

Your email address will not be published. Required fields are marked *