පාරම්පරික දියතරිප්පු ඇස් කණ්නාඩි ළගදීම විෂන් කෙයා අලෙවි සැල්වල

පාරම්පරික දියතරිප්පු ඇස් කණ්නාඩි ළගදීම විෂන් කෙයා අලෙවි සැල්වල

මෙරට පාරම්පරික දියතරිප්පු ඇස් කණ්නාඩි කර්මාන්තය නගා සිටුවමින් එම නිෂ්පාදන මෙරට ප්‍රමුඛ පෙළේ ඇස් කණ්නාඩි අලෙවිසැල් ජාලයක් වන “විෂන් කෙයා” සමාගම හරහා අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙහි ආරම්භයක් ලෙස පිළිමතලාව, කහඹේ පිහිටි එම දියතරිප්පු ඇස් කණ්නාඩි නිෂ්පාදන  මධ්‍යස්ථානයක් පසුගිය මාර්තු 01 දා විවෘත කිරීම එම අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් සිදුව තිබේ. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වත්මන් සභාපති උපසේන දිසානායක මහතාද ඊට සහභාගි වී ඇත.

අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කිරීම සදහා මෙවැනි මධ්‍යස්ථානයක් ඉදි කෙරුණු බව අමාත්‍යාංශය පවසා සිටියි.

“මෙම කර්මාන්තය අපේ රටේ ඉතිහාසයේ පටන් පැවැති කර්මාන්තයක්. ඇතැම් විට ලොව ඇස් කණ්නාඩියේ උපත මෙය විය හැකියි.” අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

මෙම මධ්‍යස්ථානයේ මූලිකත්වය දියතරිප්පු ඇස් කණ්නාඩි නිපදවූ පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතා වෙත භාරදී ඇති අතර, ඔහුගේ පුත්‍රයා වන රොෂාන් නවරත්න මෙම කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට සූදානමින් සිටියි.

එහිදී නිෂ්පාදනය කෙරෙන දියතරිප්පු ඇස් කණ්නාඩි සිය අලෙවි සැල් ජාලය හරහා අලෙවි කිරීමට විෂන් කෙයා ආයතනය ඉදිරිපත්ව සිටින අතර, එම ආයතනයේ අධ්‍යක්ෂ ජනක ෆොන්සේකා මහතාද මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිට ඇත.

ඉදි කෙරුණු මෙම දියතරිප්පු ඇස්කණ්නාඩි නිෂ්පාදන මධ්‍යස්ථානය නව තාක්ෂණික උපාංගවලින් සමන්විත බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

Visits: 58

Leave a Reply

Your email address will not be published. Required fields are marked *