ඩයලොග් සමාගම VSIS මිලදී ගනියි

ඩයලොග් සමාගම VSIS මිලදී ගනියි

ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමට පූර්ණ අනුබද්ධිත ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පෞද්ගලික) සමාගම මගින් තොරතුරු තාක්ෂණික සේවා සපයන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගම (VES) සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමක් සිදු කර ඇතැයි වාර්තා පවසයි.

2009 වසරේදී පිහිටවුණු මෙම VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගම අද වනවිට වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් පමණ වෙයි. ඒ අනුව මෙම මිලදී ගැනීමට අදාළ ගනුදෙනුව ලබන අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගම සඳහන් කරයි.

මෙම අත්පත් කරගැනීමත් සමගින් තම ව්‍යාපාර සේවා ශ්‍රී ලංකාව තුළ මෙන්ම සිය ආසියාටා සමූහය ව්‍යාප්තව පවතින ආසියානු කලාපය තුළදීත් තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඩයලොග් ආසියාටා සමාගම විශ්වාසය පළ කරයි. 

එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ව්‍යවසායන් වෙත ලෝක මට්ටමේ ඩිජිටල් වෙනසක් අත්පත් කරදීමේ අවස්ථාවක් මෙම සමාගම් දෙක ඒකාබද්ධවීම හරහා ලැබෙනු ඇතැයි සඳහන් වී ඇත. ඒ අනුව ක්ලවුඩ්, ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්, කෘත්‍රිම බුද්ධි ඇතුළු තාක්ෂණයන්ට සීමා නොවී වඩාත් නවීනතම තාක්ෂණික හැකියාවන් ලබා දීමේ හැකියාවක් මේ හරහා උදාවන බව සඳහන් වෙයි.

මෙම එකතු වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඩයලොග් ආසියාටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, “VES සහ ඩයලොග් අතර ඇති කරගත් මෙම එකතුව හරහා අපගේ පාරිභෝගිකයන් තවත් බලගැන්වීමක් සිදුවනු නොඅනුමානයි. එහිදී ගෝලීය වෙළෙඳ පොළට ගැලපෙන ලෙස තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන තරගකාරීත්වය වෙනුවෙන් ඔවුන් බලගැන්වෙනු ඇති.” යනුවෙන් පවසා ඇත.

මේ අතර, VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ ප්‍රියංග ගුණසේකර මහතා අදහස් දක්වමින්, වසර 10ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළදී සිය සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයකට පත්වීමට සමත් වූ බව පවසා සිටියි. 

ඒ අනුව ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පෞද්ගලික) සමාගම හරහා සිය සමාගමට ලැබුණු මෙම අමතර ආයෝජනය තුළින් තවදුරටත් සිය ව්‍යාපාර දියුණු කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගම මේ වනවිට දුරකතන සන්නිවේදන, මූල්‍ය සේවා, රාජ්‍ය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනික, තාක්ෂණික, ඉදිකිරීම්, නිෂ්පාදන, ප්‍රවාහන සහ මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙත සිය තොරතුරු තාක්ෂණික සේවා සැපයීම සිදු කරයි. 

ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, එටිසලාට්, මොබිටෙල්, කොමර්ෂල් බැංකුව, කාර්ගිල්ස් බැංකුව, තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය, ජාතික රුධිර බැංකුව, නවලෝක රෝහල, සන්කෙන් ඕවර්සීස් යන සමාගම් මෙම VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගමේ ගනුදෙනුකරුවන් ලෙස සටහන්ව තිබේ.

Visits: 582

Leave a Reply

Your email address will not be published. Required fields are marked *