ශ්‍රී ලංකාවේ වේගා රථය එළිදැක්වීමත් කොරෝනා නිසා කල්යයි

ශ්‍රී ලංකාවේ වේගා රථය එළිදැක්වීමත් කොරෝනා නිසා කල්යයි

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පළමු සුපිරි මෝටර් රථය ලෙස දකුණු ආසියාව තුළ නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ Vega EVX රථය නිල වශයෙන් එළිදැක්වීම කල් ගොස් ඇතැයි Economy & Business Sri Lanka වෙත වාර්තා වෙයි.

මෙම මෝටර් රථය එළිදැක්වීම සඳහා නියමිතව තිබූ 2020 ජිනීවා මෝටර් ෂෝ ප්‍රදර්ශනය නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීමට එහි සංවිධායකයන් තීරණය කිරීමත් සමගින්ම මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වී තිබේ.

දැනට මෙම නව කොරෝනා වෛරසය ලොව රටවල් 50කට වැඩි ප්‍රමාණයක් පුරා ව්‍යාප්තව පැවතීමත් සමග ස්විස්ටර්ලන්ත රජය පසුගියදා ගත් තීරණයකට අනුව පුද්ගලයන් 1,000කට වඩා වැඩි පිරිසක් ඒකරාශී වන අවස්ථාවන් සංවිධානය කිරීම අවලංගු කර තිබේ. මෙම තහනම ලබන මාර්තු 15 දක්වා ක්‍රියාත්මක වන බවත් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම Vega EVX 2020 ජිනීවා මෝටර් ෂෝ ප්‍රදර්ශනය තුළදී එළිදැක්වීම මීට පෙර සැලසුම වී තිබුණි. ඒ සඳහා රථය පසුගිය මාසයේදී ස්විස්ටර්ලන්තය වෙත රැගෙන යාමද සිදුවිය. 

මාර්තු 05 වැනිදා සිට 15 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදර්ශනයේ 05 වැනි ශාලාවේ ප්‍රදර්ශන කුටි අංක 5128 හිදී මෙම Vega EVX රථය ප්‍රදර්ශනයට තැබීමට නියමිතව තිබුණි.

මෙම අවලංගුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ Vega Innovation සමාගම, මෙලෙස 2020 ජිනීවා මෝටර් ෂෝ ප්‍රදර්ශනය අවලංගුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව පවසා සිටියි. විශේෂයෙන්ම මෙම ප්‍රදර්ශනය හරහා මෙම ශ්‍රී ලාංකික නිෂ්පාදනය ලෝකය හමුවේ ඉදිරිපත් කිරීම සිය අපේක්ෂාව වූ බව එම සමාගම සදහන් කරයි. එහෙත් මෙම ප්‍රදර්ශන අවස්ථාව අවලංගු වුවද, සිය ඉලක්ක සහ බලාපොරොත්තු කිසිවක් වෙනස් වී නොමැති බවද ඔවුන් අවධාරණය කරයි.

Visits: 53

Leave a Reply

Your email address will not be published. Required fields are marked *