2019 දෙවැනි අර්ධයේදී කොළඹ ඉඩම් වටිනාකම තවත් වැඩිවෙලා

2019 දෙවැනි අර්ධයේදී කොළඹ ඉඩම් වටිනාකම තවත් වැඩිවෙලා

පසුගිය 2019 වසරේ දෙවැනි අර්ධය තුළදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයේ වටිනාකම 138.9ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව  සිය කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයේ (Land Valuations Indicator) – 2019 දෙවැනි අර්ධ වාර්තාව තුළ සඳහන් කරයි.

ඒ අනුව මෙය 2018 වසරේ දෙවැනි අර්ධය තුළදී ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් වටිනාකමට අනුරූපව 10.4% කින් වටිනාකම් ඉහළ යෑමක් බව එම වාර්තාව පෙන්වා දෙයි. 

එහිදී විශේෂයෙන්ම මෙම අවසන් අගය ලබා ගැනීම සඳහා දායක වන උප – දර්ශක වන නිවාස, වාණිජ සහ කර්මාන්ත යන අංශයන්හිදී පසුගිය වසරේ දැක්වූ වටිනාකම් ඉහළ  යාම මේ සඳහා හේතුව වී තිබේ.

ඒ අනුව නිවාස ඉඩම් වටිනාකම 2018 වසරේ දෙවැනි අර්ධයට සාපේක්ෂව 10.7% කින්ද, වාණිජ ඉඩම් සහ කර්මාන්ත ඉඩම් වටිනාකම් පිළිවෙලින් 10.3% ක අගයකින්ද ඉහළ ගොස් තිබේ. එසේම 2019 වසරේ පළමු අර්ධයට අනුරූපව දෙවැනි අර්ධයේදී මෙම කොළඹ ඉඩම් වටිනාකම් ඉහළ යාම 5.1% ක් බවද වාර්තාව පෙන්වා දෙයි.

කොළඹ, තිඹිරිගස්යාය, දෙහිවල, රත්මලාන, මොරටුව, කැස්බෑව, මහරගම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොලොන්නාව, කඩුවෙල, හෝමාගම, පාදුක්ක, සීතාවක යන දිස්ත්‍රික් ලේකම්කාර්යාලවලට අයත් ඉඩම් 2017 වසරේ සිට මෙම දර්ශකය සඳහා ඇතුළත් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් ලෙස ගණන් ගැනේ.

මෙම ප්‍රදේශවල පිහිටි ඉඩම්වල පර්චසයක වටිනාකම අනුව සිදුකරන මෙම දර්ශකය සකස් කිරීම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ද්විවාර්ෂික ලෙස ලබා දෙන දත්ත අනුව සිදු කෙරේ. 

2017 වසරේදී මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු පිළිබඳ දර්ශකයේ අගය 100 ක මට්ටමක පැවතුණි. ඒ අනුව වසර දෙකක් තුළදී මෙය ඉතාමත් කැපී පෙනෙන ඉහළ  යාමක් පෙන්නුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම මීට පෙර ඉඩම් මිල දර්ශකය (LPI – Land Price Index) ලෙස හැඳින්වුණු මෙම දර්ශකය 2019  දෙවැනි අර්ධයේ සිට ඉඩම් තක්සේරු දර්ශකය (Land Valuations Indicator) ලෙසත් හැඳින්වෙන බව මහ බැංකුව සඳහන් කරයි.

Visits: 72

Leave a Reply

Your email address will not be published. Required fields are marked *