හයිලන්ඩ් නිෂ්පාදනවල මිල ඉහළට‍

හයිලන්ඩ් නිෂ්පාදනවල මිල ඉහළට‍

මිල්කෝ (පෞද්) සමාගම මගින් වෙළෙඳ පොළට නිකුත් කරන හයිලන්ඩ් නිෂ්පාදන රැසකම මිල ගණන් පෙරේදා දිනයේ සිට ඉහළ දමා ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව හයිලන්ඩ් යෝගට් කප් එකක් රුපියල් 5 කින්, හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක් රුපියල් 10කින්, හයිලන්ඩ් බටර් රුපියල් 20කින් හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිල්ක් පැකට්ටුවක් රුපියල් 5කින්, හයිලන්ඩ් කිරි රුපියල් 10කින් ඇතුළුව තවත් නිෂ්පාදන රැසකම මිල ගණන් ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් “Economy & Business Sri Lanka” සිදුකළ විමසීමකදී අදහස් දැක්වූ හයිලන්ඩ් සමාගමේ නිලධාරියෙකු, හයිලන්ඩ් යෝගට් පැකට්ටුවක මිල 2015 වසරින් පසුව ඉහළ දැමූ පළමු අවස්ථාව මෙය බවද සඳහන් කළේය. විශේෂයෙන්ම කිරි ගොවීන් වෙත හොඳ මිලක් ලබා දීමේ අරමුණින් මෙම මිල ගණන් ඉහළ දැමීමක් සිදුව තිබෙන බව ඔහු පවසයි.

“සමාගමෙන් කිරි ගොවියන්ට ගෙවන මුදල වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. යෝගට්වල මිල වැඩි වෙලා තිබෙන්නේ 2015 වසරෙන් පසුවයි. එදා ඉදන්ම රුපියල් 35ට තමයි යෝගට් දුන්නේ. ඒ වගේම අනෙක් යෝගට්වල ග්‍රෑම් 80ක් තියෙන කොට හයිලන්ඩ් යෝගට්වල ග්‍රෑම් 90ක් තියෙනවා.”

මේ අතර ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ජනතාව අතර පවතින අයහපත් මතයත් සමගින්ම සිය කිරිපිටි නිෂ්පාදන වෙත වැඩි ඉල්ලුමක් පවතින බවද එම නිලධාරියා මෙහිදී සඳහන් කළේය. එහෙත් එම ඉල්ලුමට සැපයීම ලබා දීම සඳහා ප්‍රමාණවත් කිරි තොග තමන් සතුව නැතිවීම ගැටලුවක් බවද ඔහු පවසයි.

“සාමාන්‍යයෙන් අගෝස්තු ඉඳන් මාර්තු වෙනකම් ලැබෙන කිරි ප්‍රමාණය අඩුයි. මාර්තු මාසයෙන් පස්සේ තමයි කිරි එන්න පටන් ගන්නේ. එතැනදී කිරි ගොවියන්ටත් වැඩි මුදලක් ලබා දීලා කිරි මිලදී ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.” 

මෙලෙස හයිලන්ඩ් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නැංවුවද එය සිය අලෙවිට බාධාවක් නොවන බවද හෙතෙම පවසයි. උදාහරණයක් ලෙස ‍වෙළෙඳ පොළේ ඇති තරගකාරී ෆ්‍රෙෂ් මිල්ක් නිෂ්පාදන හා සැසඳීමේදී හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිල්ක් පැකට්ටුවක මිල තවමත් පසුපසින් සිටින බව ඔහු සඳහන් කරයි.

Visits: 181

Leave a Reply

Your email address will not be published. Required fields are marked *