දකුණු ආසියාවේ ඉහළම මාරක මාර්ග අනතුරු අනුපාතයක් ඇති රට ශ්‍රී ලංකාවයි – ලෝක බැංකුව

දකුණු ආසියාවේ ඉහළම මාරක මාර්ග අනතුරු අනුපාතයක් ඇති රට ශ්‍රී ලංකාවයි  – ලෝක බැංකුව

දකුණු ආසියාවේ රටවල් අතරින් වසරකට වැඩිම මාරක මාර්ග අනතුරු අනුපාතයක් වාර්තාවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලෝක බැංකුව පවසයි. පසුගිය පෙබරවාරි 20 වැනිදා එම බැංකුව මගින් නිකුත් කරන්නට යෙදුණු Delivering Road Safety in Sri Lanka – Leadership Priorities and initiatives to 2030 නම් වාර්තාව තුළ මේ කරුණු ඇතුළත්ව තිබේ.

එහිදී පුද්ගලයන් 100,000 අතරින් මාරාන්තික මාර්ග අනතුරුවලට ලක්වීමේ ඇති අවදානම් අනුපාතය 17.4 කි. එය ඉන්දියාවේදී 16.6ක් වන අතර බංග්ලාදේශය සහ භූතානයේදී 13.6 ක් සහ 15.1 කි. නේපාලය ශ්‍රී ලංකාවට ආසන්න මටට්මේ පවතින අතර එම අනුපාතය 17 කි.  

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන අනතුරු සංඛ්‍යාවේ සාමාන්‍ය 38,000ක් වන බවත්, ඉන් අනතුරු 3,000ක් මාරක අනතුරු බවත් වාර්තාවේ දත්ත පවසයි. එසේම තවත් 8,000ක් පමණ මෙම අනතුරු නිසා තුවාල ලබයි.

මෙලෙස ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව මාර්ග අනතුරු නිසා මිය යන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ආදායම් ලබන රටවල සිදුවන අනතුරු නිසා මිය යන සංඛ්‍යාවට සාපේක්ෂව දෙගුණයකි. එසේම එය ලොව හොඳම මාර්ග ආරක්ෂාවක් පවතින රටවලට සාපේක්ෂව පස් ගුණයකි.

මෙරට තුළ සිදුවන මාර්ග අනතුරු අතරින් 70%ක්ම සිදුවන්නේ පහළ ආදායම් ලබන පදිකයන් සහ මෝටර් රථ පදවන්නන් අතර බවද මෙම වාර්තාව පෙන්වා දෙයි. ඒ අතරින්ද මගීන් සහ මෝටර් සයිකල් පදවන්නන් අතර සිදුවන අනතුරු ඉහළ වන අතර, එහිදී පදිකයන්ගේ මරණ අතරින් 40%ක්ම සිදුවන්නේ මේ අනතුරු නිසා බවත් පැවසෙයි. 

එසේම අධික වේගය, බීමත් රිය ධාවනය, විඩාව, වාහනයේ ටයර පිපිරීයාම, සතුන් පාර හරහා මාරුවීම යනාදිය මෙම අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙස ලෝක බැංකු වාර්තාව හඳුනාගෙන ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ හිමිකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හරහා මෝටර් රථ ගහනයේ සිදුව ඇති වැඩිවීමද මෙම අනතුරු වැඩිවීම සඳහා දායකත්වය සපයා ඇත. 2011 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළදී මෝටර් රථ හිමිකාරීත්වය 67%කින් ගොස් ඇතැයි වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව මෙලෙස මාර්ත මත ඉහළ මාරක රිය අනතුරු අනාපතයක් පැවතීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙන්ම සමෘද්ධිය වෙතත් අයහපත් ලෙස බලපෑම් එල්ල කර ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි. 

එහිදී මෙම තත්ත්වය මගහරවමින් රට තුළ සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව 50% කින් අඩු කර තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට නම් ශ්‍රී ලංකාව තවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් මෙම කටයුතු සඳහා ආයෝජනය කළ යුතුව ඇති බවත් ලෝක බැංකුව පෙන්වා දෙයි.

Visits: 148

Leave a Reply

Your email address will not be published. Required fields are marked *