ගීත නිර්මාණ සදහා කර්තෘභාගය ගෙවීම මාර්තු 01 වැනිදා සිට

ගීත නිර්මාණ සදහා කර්තෘභාගය ගෙවීම මාර්තු 01 වැනිදා සිට

ගුවන් විදුලි නාලිකාවක් තුළ විකාශය වන ගීතයක් සඳහා රුපියල් 20ක සහ රූපවාහිනි නාලිකාවක විකාශය කෙරෙන ගීතයක් සඳහා රුපියල් 100ක කර්තෘභාගයක් ගෙවීම සඳහා වන ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පසුගියදා කොළඹ තැපැල් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැති මුද්දර නිකුත් කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.

ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉතා ඉක්මණින්ම රජයේ මුද්‍රණාලයාධිපතිවරයා වෙත භාර දෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය. එසේම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමගම මාර්තු 01 වැනිදා සිට මෙම කර්තෘ භාග ගෙවීම සිදුවෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“මාර්තු 01 වැනිදායින් පස්සේ මේ ගායක ගායිකාවන්ගේ ගීත ගුවන් විදුලියේ රූපවාහිනියේ ප්‍රචාරය වෙන කොට ඒ සඳහා වන කර්තෘභාග ගෙවීමක් සිදු වේවි. යම් ගායකයෙකු ජීවත්ව නොමැති විට ඔහුගේ පවුලේ ඥාතීන්ට ඔහු වෙනුවෙන් එම කර්තෘභාගය ඉල්ලා ගැනීමේ අයිතිය හිමි වෙනවා.” අමාත්‍යවරයා පැවසීය. 

එසේම ජීවත්වන සිටින වෘද්ධ වයසේ කලාකරුවන්ටද මින් විශාල ප්‍රතිලාභයක් අත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගායක ගායිකාවන්ගේ හඬ වෘද්ධබවත් සමග නැතිවී යන විට ඔවුන්ට එම වයස්ගත කාලයේදී ඖෂධ ලබා ගැනීම සඳහා පවා මුදල් නැතිව අසරණ තත්ත්වයට පත්වීම මේ  හරහා වළක්වා ගත හැකි බවත් අමාත්‍යවරයාගේ අදහස වී තිබේ. ඒ අනුව මෙය ලාංකීය කලා ක්ෂේත්‍රය ලබපු විශාල ජයග්‍රහණයක් ලෙසද අමාත්‍යවරයා හැඳින්වීය.

Visits: 77

Leave a Reply

Your email address will not be published. Required fields are marked *