සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය විශ්වවිද්‍යාලයක් කිරීමට යෝජනා

සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය විශ්වවිද්‍යාලයක් කිරීමට යෝජනා

සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය (Sri Lanka Institute of Tourism & Hotel Management ) ඉදිරියේදී උපාධි පිරිනමන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි “Economy & Business SRI LANKA” වෙත වාර්තා වෙයි. 

මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම මෙම යෝජනාවේ අරමුණ බවද පවසා ඇත.

මෙහිදී එම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ විෂය පථයට ගැනෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නේද, නැතහොත් දේශීය හෝ විදේශීය අනුබද්ධ විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්නේද යන්න පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවද අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

1964 වසරේදී රජය විසින් ස්ථාපිත කරන ලද “ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය” තරගකාරී ආගන්තුක සත්කාර හා සංචාරක ක්ෂේත්‍රයේ තරුණ තරුණියන් පුහුණු කිරීම අරමුණු කරගනිමින් ඇරඹූවකි. 

“ආසියාවේ සංචාරක හා ආගන්තුක සත්කාර කර්මාන්තයේ, මානව සම්පත් සංවර්ධනය සඳහා පුහුණු හා අධ්‍යාපනය තුළ විශිෂ්ඨතා මධ්‍යස්ථානය වීම” එහි දැක්ම වී තිබේ. මෙම ආයතනයේ ප්‍රාදේශික මධ්‍යස්ථාන අනුරාධපුර, බණ්ඩාරවෙල, යාපනය, පාසිකුඩා, පල්ලෙකැලේ, කොග්ගල, රත්නපුර හා කුරුණෑගල යන නගරවල පිහිටුවා ඇත.

දැනට ඩිප්ලෝමා පාඨමාලා පමණක් පිරිනමන මෙම ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය යටතේ ඇති පාඨමාලා අතර, සිව් අවුරුදු හෝටල් සහ ආහාරපාන කළමනාකරණ ඩිප්ලෝමාව, සත්කාරක කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව, සංචාරක රියදුරු මාර්ගෝපදේශක පාඨමාලාව, ජාතික සංචාරක මාර්ගෝපදේශක පාඨමාලාව, පේස්ට්‍රි හා බේකරි පාඨමාලාව (තෙමස්) සහ ශිල්පීය පාඨමාලාව යනාදිය පවතී.

මෙම පාඨමාලාවටල අදාළ ප්‍රායෝගික පුහුණු කටයුතුද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් පවත්වාගෙන යන සමුද්‍රා හෝටලය මගින් සිදු කෙරේ.

Visits: 463

Leave a Reply

Your email address will not be published. Required fields are marked *