ප්‍රදීප් අමිර්තනායගම් People’s Leasing & Finance සභාපති ධුරයෙන් ඉවත් වෙයි

ප්‍රදීප් අමිර්තනායගම් People’s Leasing & Finance සභාපති ධුරයෙන් ඉවත් වෙයි

මහජන බැංකුව යටතේ පරිපාලිත මූල්‍ය සහ කල්බදු සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance) හි සභාපතිවරයා ලෙස කටයුතු කළ මයිකල් ප්‍රදීප් අමිර්තනායගම් මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම සමාගම නිවේදනය කරයි. 

ඔහුට අමතරව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ රංජිත් කොඩිතුවක්කු සහ ඇන්තනි බොනිෆස් සිල්වා යන මහත්වරුන්ද මෙහිදී සිය ධුරවලින් ඉවත්ව ඇත. අද (පෙබරවාරි 19 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම් සිදුව තිබේ.

මේ අතරින් හිටපු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බව සමාගම පවසයි. එසේම ඔහු සතුව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් 10,302ක් පැවැති බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි. අනෙක් සාමාජිකයන් දෙදෙනා විධායක නොවන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර ඇත. එහෙත් ඔවුන්ට සමාගමේ කිසිදු කොටසක හිමිකමක් නොමැත.

ප්‍රදීප් අමිර්තනායගම් මහතා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයා බවට පත් කෙරුණේ පසුගිය 2019 වසරේ ඔක්තෝබර් 15 වැනිදාය. 

එතෙක් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයාව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා 2019 ඔක්තෝබර් 12 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම මෙම පත් කිරීම සිදුවිය. 

ප්‍රදීප් අමිර්තනායගම් මහතා සභාපති ධුරයට පත් කිරීමට පෙර 2016 වසරේ අප්‍රේල් මාසයේ සිට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ බව එම සමාගම පවසයි.

Visits: 109

Leave a Reply

Your email address will not be published. Required fields are marked *